ඉතාලි තානාපති නිලධාරී වෙස්ගත් හොරා පොලිස් දැලේ

ඉතාලි තානාපති නිලධාරී වෙස්ගත් හොරා පොලිස් දැලේ

මෙරට ඉතාලි තානාපති කාර්යාලයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් රුපියල් හාරලක්ෂ හත්දහසක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පුද්ගලයෙකු කටුනායක අධිවේගී මාර්ගය අසලදී පසුගිය 14 වෙනි දින අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරු භාරයේ තිබී ඉතාලි තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද විශේෂ ස්ටිකර් එකකට සමාන ස්ටිකර් 27 ක් ව්‍යාජ මුද්‍රා සහ ලිපි ලේඛන තොගයක් පොලිසිය භාරයට ගෙන ඇත.

42 හැවිරිදි සැකකරු ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉතාලි තානාපතිවරයාගෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය ප්‍රදේශයේ කාන්තාවක් ඉතාලි යාම සඳහා අවශ්‍ය ලිපි ලේඛන තානාපති කාර්යාලය වෙත ඉකුත් පෙබරවාරි 23 දින යොමු කර තිබූ අතර මාස කීපයක් ගත වුවද ඊට කිසිදු ප්‍රතිචාරයක් තානාපති කාර්යාලයෙන් නොලැබීම හේතුවෙන් එම කාන්තාව තානාපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී සැකකාර පුද්ගලයා මුණ ගැසී තිබේ.

එම අවස්ථාවේදී සැකකරු තමන් තානාපති කාර්යාලයේ සේවය කරන අයකු බව හඟවා කඩිනමින් ඇයගේ අවශ්‍යතාවය ඉෂ්ට කර දීමට හැකි යැයි පවසා එකී මුදල ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

සැකකරුගේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.