දකුණු කොරියාවේ ධීවර රැකියාවට යන අයට පණිවිඩයක්

දකුණු කොරියාවේ ධීවර රැකියාවට යන අයට පණිවිඩයක්
දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණ විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
මෙම විභාගයට අයදුම්කිරීම සඳහා විදේශ ගමන් බලපත්‍රය අනිවාර්ය වන අතර, එය මෙතෙක් ලබානොගත් අයදුම්කරුවන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත විශේෂ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් හඳුන්වා දී තිබේ.
 
ඒ අනුව කාර්යාංශයේ පළාත් කාර්යාල මගින් එවැනි රැකියා අපේක්ෂිතයින් සඳහා අදාළ නිර්දේශ ලිපි 2022 අගෝස්තු මස 15, 16 හා 17 යන දිනයන් හිදී නිකුත් කරනු ලබයි.
 
මෙම නිර්දේශ ලිපි ලබාගැනීම සඳහා විභාග ගාස්තු ලෙස අයකරනු ලබන රුපියල් 10,109ක මුදල අදාළ කාර්යාලය වෙත සෘජුවම ගෙවිය යුතුවේ.
 
නිර්දේශ ලිපිය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම මගින් එක්දින සේවාව ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගත හැකිය.
 
දැනටමත් ගුවන්ගමන් බලපත්‍ර ලබාගෙන ඇති අයදුම්කරුවන් සඳහා මෙය අදාළ නොවන අතර ඔවුන්ට, මාර්ගගත ක්‍රමය ඔස්සේ, විභාග ගාස්තු ගෙවූ අයදුම්පත ස්කෑන් කර යොමුකිරීමෙන් විභාගය සඳහා අයදුම්පත්‍ර ලබාගත හැකිය.
 
මෙම විභාගය පිළිබඳව වැඩි විස්තර www.slbfe.lk යන කාර්යාංශයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.