සංචාරක වීසා අරන් රැකියාවලට යන අයට වැට බඳින්න සැලසුම්

සංචාරක වීසා අරන් රැකියාවලට යන අයට වැට බඳින්න සැලසුම්
සංචාරක වීසා ලබාගෙන විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීමේ ජාවාරම වැළැක්වීම සදහා විශේෂ විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. 
 
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන්තොටුපොල සහ ගුවන්තොටුපොල සේවා සමාගම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරගනිමින් මෙම විශේෂ විමර්ශන ක්‍රියාවලිය සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියි.
 
මෙම ජාවාරම්වලට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
සංචාරක වීසා ලබාගෙන විදේශ ගතවී රැකියා ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් නොයෙක් හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත පදනම්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පියවර ගැනීමට තීරණය කළ බව  ඔහු කියාසිටියේය. 
 
සංචාරක වීසා ලබාගෙන රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන අතර ඒ සඳහා දායකත්වය ලබාදෙන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලබාදීමටද සැලසුම් කර ඇතැයි විදේශ රැකියා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
 
මේ අතර ගුවන්තොටුපොල හරහා විදේශ ගතවන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ඉහළ ගරුත්වයක් ලබාදීමටත්, එහිදී වැඩි පහසුකමක් ලබාදීමටත් විශේෂ පිවිසුමක් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබේ. 
 
ලබන සැප්තැම්බර් මස පළමුවැනිදා සිට මෙම කවුන්ටරය විදේශගතවන සහ විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා විවෘත කෙරෙනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
 
එමෙන්ම විදේශ රැකියාවක් සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්ටරයක් ලබන සඳුදා සිට විවෘත කිරීමට ද කටුයතු කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියේය.