කටුනායක ගුවන් තොටේ සිදුවෙන අලුත් ඡාවාරමක් ගැන හෙලිවෙයි

කටුනායක ගුවන් තොටේ සිදුවෙන අලුත් ඡාවාරමක් ගැන හෙලිවෙයි
කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් අධි ආරක්ෂිත කලාපය ඔස්සේ රත්රන් පන්නන අලුත් ජාවාරමක් පිළිබඳ සී.සී.ටී.වී. දර්ශන ඔස්​සේ  අනාවරණය කර ගෙන ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග වාර්තා කරයි.
 
මෙම සිද්ධියට මුල් වූ බව කියන ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බවත් සඳහන්.
 
කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් මගීන් හුවමාරු වන (ඨ්‍රන්සිට් ඇරේ) ස්ථානයට පැමිණි ගුවන් මගියකු රත්තරන් පාර්සලය ආරක්ෂක නිලධාරියකුට ලබා දී තිබෙන අතර එතැන සිට ගුවන් තොටුපොළ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ට තේ සපයන වාහනයකට පාර්සලය දමා අධි ආරක්ෂිත කලාපය ඔස්සේ ගුවන් තොටුපොළ ධාවන පථයේ භාණ්ඩ ගබඩා දෙසින් ඇවරිවත්තට ගෙන ගොස් ඇති බවත් තහවුරුවී තිබේ.
 
ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේම සිටින විමර්ශන නිලධාරියකු සිදුකළ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂාවකදී මෙම පාර්සලය ලබාදෙන අයුරුත් තේ බෙදාහරින වාහනයේ රියැදුරුට එය ලබාදුන් බවට සැකකරන ආරක්ෂක සැරයන්වරයකුගෙන්ද  ප්‍රකාශ ලබාගෙන මේ  ඡාවාරමේ තතු හෙලිකරගෙන ඇත.
 
තවද,මෙම රත්රන් පාර්සල් ගෙනවිත් දුන් බව කියන ගුවන් මගියා ට්‍රාන්සිටි හෝටලයට යන සෝපානයට නැගගත් ආරක්ෂක නිලධාරියකු​ගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත. ඒ ඔහුට රාජකාරියට අයත් නොවන ප්‍රදේශයක ගුවන් මගියා සමග ගමන් කළ සැකසහිත ගමන හේතුවෙනි.
 
මෙම ගනුදෙනුවට අදාළ මුදල් ලබාදෙන බව කියන ආරක්ෂක නිලධාරියකුගේ සී.සී.ටී.වී. දර්ශනද විමර්ශන සඳහා ලැබී ඇත.
 
දැනට කරන ප්‍රශ්න කිරීම්වලදී රත්රන් පාර්සලයක් ගුවන් තොටුපළින් පැන්නූ බවට සැකකරුවන්ගෙන් අනාවරණය වී තිබේ. ඇවරිවත්ත ප්‍රදේශයෙන් පිටතට ගෙනගිය රන් පාර්සලයට සිදුවූ දේ ගැන ඊයේ රාත්‍රිය වනතුරුත් අනාවරණය වී නොතිබිණි.
 

රේගු නිලධාරීන් දිගින් දිගටම ගුවන් තොටුපොළවල මගී පර්යන්තවලදී රන් තොග කොටුකරගත් නිසා මගී පර්යන්තවලට නොගොස් අධි ආරක්ෂිත කලාපවලින් පන්නන අලුත් ජාවාරමක් අරඹා ඇතැයිද හෙළි වී තිබේ.