ඉලක්කම් වෙනස් වීමෙන් විදෙස් ගමන් යන මගීන් අසීරුවේ

ඉලක්කම් වෙනස් වීමෙන් විදෙස් ගමන් යන මගීන් අසීරුවේ
විදෙස් තානාපති කාර්යාල කල්තියා දැනුවත් නොකොට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත් අංකයෙහි ඉලක්කම් සංඛ්‍යාව වැඩි කිරීමෙන් තමන් විදෙස් තානාපති කාර්යාලවලින් වීසා ලබා ගැනීමේදී දුෂ්කරතාවකට පත්ව ඇතැයි නව ගුවන් ගමන් බලපත් ලබාගත් මගීන් චෝදනා කරන බව ආරංචි මාර්ග පවසයි.
 
මෙතෙක් කලක් N අකුර හා ඉලක්කම් හතකින් සමන්විතව නිකුත් කළ ගුවන් ගමන් බලපත් අංකය වෙනුවට ඉලක්කම් අටක් සහිතව නව ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමෙන් ඇතැම් තානාපති කාර්යාල ඒ ගැන සැක පළ කිරීමෙන් වීසා අයැදුම් ක්‍රියාවලිය පමා වීම මීට හේතු වී යැයි වාර්තා වේ.
 
ඉලක්කම් හතකින් යුතු ගුවන් ගමන් බලපතෙහි ඛාණ්ඩ අංක සියල්ල අවසන් වීම නිසා පසුගිය 7 වන දා සිට අංක අටක් සහිතව (උදා – N10 000 000) නව අංකය බලපතෙහි මුද්‍රණය කළද එම දත්ත වෙනස්කම ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය ඊට අදාළ සෙසු රාජ්‍ය අංශ දැනුවත් කර නැතැයි කියැවෙයි.
 
පසුව මේ ඉලක්කම් අටේ නව අංකය ගැන එක්තරා බටහිර තානාපති කාර්යාලයක් නිල නොවන මට්ටමින් කළ විමසීමකින් පසුව ආගමන විගමන පාලකවරයා විසින් පසුගිය 11 වන දා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කරනු ලැබ තිබේ.
 
මේ සන්නිවේදන පමාව නිසා සිදුව ඇත්තේ නව ගමන් බලපත්වලට වීසා අනුමත කිරීම තානාපති කාර්යාලවලින් තාවකාලිකව නතර කිරීමෙන් පුරවැසියන් අපහසුවට පත්වීම බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
 
කෙසේ වෙතත් ගුවන් ගමන් බලපතක දත්තවල වෙනසක් කිරීමේදී ඒ සම්බන්ධයෙන් විදෙස් තානාපති කාර්යාලවලට කල්තියා සන්නිවේදනය කළ යුතු වුව ද, ඛාණ්ඩ අංක අවසන් වනතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශය ඒ සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් ක්‍රියා කර නැතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.