අපිට ආපසු ලංකාවට යන්න බෑ…

අපිට ආපසු ලංකාවට යන්න බෑ…
  • කැනඩාවට පනින්න ගිය 303 ක් ජපාන යාත්‍රාවකින් බේරාගැනීම
  • පමා වුණා නම් සියල්ලෝම මුහුදේ ගිලෙනවා

සිංගප්පූරුව හා වියට්නාමයට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී ආපදාවට පත් වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස නැවත මව්බිමට ඒම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වන බව විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ‘දිවයින’ට පැවසීය. වියට්නාමයේ හැනෝයිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට කිලෝමීටර් 1700ක් පමණ දුරින් වූ ප්‍රදේශයකට එම පිරිස රැගෙන විත් තිබෙන බව ද කී ඇමැතිවරයා එම ප්‍රදේශයේ සිටින ශ්‍රී ලංකා කොන්සල්වරයකු ඔවුන් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද සඳහන් කළේය.

එම පිරිස ශ්‍රී ලාංකිකයන් දැයි සොයා බැලීමට මූලිකව කටයුතු කරන බවද කී ඇමැතිවරයා අනතුරුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවද කීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග නිරන්තර සාකච්ඡා පවත්වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

කාර්මික දෝෂයකට ලක් වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 303 දෙනා සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ ඔවුන් වියට්නාමයට රැගෙන ඒමෙන් පසු සිදුකරන නිල සාකච්ඡාවලින් අනතුරුව බව වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා ද පැවසීය.

කැනඩාවට සංක්‍රමණය වීමට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිස රැගත් මෙම යාත්‍රාව මියන්මාර් ධජය යටතේ යාත්‍රා කරමින් තිබියදී සිංගප්පූරු – වියට්නාම ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව තිබිණි.

යාත්‍රාව එසේ අනතුරුට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයන් ශ්‍රී ලංකා නාවික හමුදා මුදා ගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා ඒ බව දැනුම් දී ඇත. ඒ අනුව නාවික හමුදාව සිද්ධිය වියට්නාම නාවික මුදාගැනීමේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී තිබේ.

ඒ වන විට ආපදාවට පත් යාත්‍රාව තිබී ඇත්තේ වියට්නාම භූමියට නාවික සැතපුම් 258 ක් දුරිනි.

මුහුදේ තිබූ රළු බව නිසා ඒ වන විට එම යාත්‍රාවේ එන්ජින් කාමරයට ද ජලය පිරී තිබී ඇති අතර පසුව වියට්නාම බලධාරීන් මැදිහත් වී වහාම මේ පිළිබඳ මැලේසියානු හා සිංගප්පූරු බලධාරීන් සමඟ තොරතුරු හුවමාරු කරගෙන ඇත.

සබැඳි පුවත්

මේ අනුව ඒ අසලින් ගමන් ගත් ජපානයට අයත් හිලියෝස් ලීඩර් නෞකාවට කළ දැනුම් දීමකට අනුව සිදු කෙරුණු ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරට පත් පිරිස ගලවා ගැනීමට සමත්ව තිබේ.

පිරිස බේරා ගන්නා අවස්ථාවේ අනතුරට පත් යාත්‍රාව තුළ පිරිමින් 264 ක්, කාන්තාවන් 19 ක් හා ළමයින් 20 ක් සිට ඇත.

මෙම පිරිස ගමන් ගත් යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් එකක් නොවන බව නාවික හමුදාව සඳහන් කරයි.

අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් පිරිස වියට්නාමයේ චන්ග් චාටු වරාය වෙත රැගෙන යෑමට නියමිතව තිබුණු අතර මොවුන් ගුවන් මගින් වෙනත් රටකට ගොස් එතැන් සිට මුහුදු මාර්ගයෙන් කැනඩාව බලා යෑමේදී මෙලෙස අනතුරට පත්ව ඇත.

(දිවයින)