හෙදියන් රට යවන්න ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කප්පම් ඉල්ලලා

හෙදියන් රට යවන්න ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් කප්පම් ඉල්ලලා
  • විශේෂ කණ්ඩායමක් ලබන දෙසැම්බර් මස මෙරටට

රැකියා අවස්ථා ලබාදීම ගැන පැවැති සාකච්ඡාවක් අතරතුර ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයකු ඒ වෙනුවෙන් කප්පම් ඉල්ලා ඇති බවට අග්නිදිග ආසියානු රටක මහකොමසාරිස් කාර්යාලයක නිලධාරීන් විසින් ජනාධිපති කාර්යාලය හා විදේශ රැකියා අමාත්‍යංශයට වාචිකව දැනුම් දී තිබේ.

නැව් තටාකාංගණ සහ එරට රෝහල් සඳහා මෙරට ශ්‍රමිකයන් හා හෙද හෙදියන් දෙසීය දෙනෙකුට රැකියා අවස්ථා දීමට මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් පෞද්ගලික සමාගම් කිහිපයක එකඟතාවය පලකර තිබුණි.

නැව් තටාකාංගණය සඳහා බඳවා ගැනීම වෘත්තිය සුදුසුකම් මත සිදුකිරීමට සාකච්ඡාවේදී තීරණය වී ඇත. හෙද නිලධාරිනියන්ට අවස්ථාව ලබා දිය යුත්තේ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයෙන් කුමන අංශයටද යන්න මෙහිදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

මේ සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාල නිලධාරියකු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයකු සමගින් සම්බන්ධ වී සාකච්ඡා කර ඇති බවද අනාවරණය වී ඇත.

ඒ සඳහා කටයුතු කරන තමාගේ මුදල කොපමණද යන්න එහිදී අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඇත. එමෙන්ම එලෙස බඳවා ගන්නා ශ්‍රමිකයන් තමාට සම්බන්ධ විදේශ රැකියා නියෝජිතායතනය මගින් විදෙස්ගත කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඔහු යෝජනා කර ඇත.

මේ සම්බන්ධයෙන් මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ජනාධිපති කාර්යාලයට සහ විදේශ රැකියා අමාත්‍යංශයද වාචිකව දැනුවත් කර විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර සමගින්ද සාකච්ජා කර තිබේ.

ඇමැතිවරයා සමගින් සිදුකරන ලද කතාබහින් පසු පෞද්ගලික සමාගම් මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබාදීමට එකඟ වී ඇති අතර ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ලබන දෙසැම්බර් මාසයේදී මෙරටට පැමිණීමටද නියමිතය.

(අරුණ)