වියට්නාමයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්: 'කැනඩාවට යන්න එක් කෙනෙක් ඩොලර් 5000 ක් ගෙව්වා'

වියට්නාමයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්: 'කැනඩාවට යන්න එක් කෙනෙක් ඩොලර් 5000 ක් ගෙව්වා'

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින පසුබිමක නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට උත්සාහ දරණ පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින පසුබිමක නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් ගත වීමට උත්සාහ දරණ පුද්ගලයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතියි.

එලෙස මුහුදු මාර්ගයෙන් කැනඩාව බලා යාමට උත්සහා කළ පුද්ගලයින් 303 දෙනෙකු පසුගිය 07 වැනිදා සිංගප්පූරු නාවික හමුදාවේ සහාය ඇතිව ජපානයට අයත් ‘හේලියෝස් ලීඩර්’ නෞකාව ආධාරයෙන් බේරා ගනු ලැබිණි.

සිංගප්පූරු සහ වියට්නාම මුහුදු සීමාවේ දී මෙම සරණාගතයින් මුදාගෙන ඇත.

මෙම පිරිස පසුගිය 08 වැනිදා වියට්නාමයේ වුන්ග් ටෝ වරායට රැගෙන ආ ලැබූ බවත්, එහි ඇති කඳවුරක නවාතැන් ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් සරණාගතයින් ලෙස ගමන් කළ යාත්‍රාවේ සිටි එක් අයෙකුගේ ඥාතීයෙකු බීබීසි පුවත් සේවය වෙත පැවසීය.

සරණාගතයින් මුදා ගැනීමේ මෙහෙයුම

මෙම යාත්‍රාවේ ලාංකීක සරණාගතයින් සිටින බවට සඳහන් වන හඬ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.

“සරණාගතයින් 317 දෙනෙකු එක්ක යාත්‍රාවක් පිලිපීන මුහුදේ දී ගිලෙන්න යනවා. දරුවන්, කාන්තාවන් සහ වැඩිහිටි අයත් ඉන්නවා. සරණාගතයින් එක්ක යාත්‍රාවක් ගිලෙන්න යනවා කියන ප්‍රවෘත්තිය හැම කෙනෙකුටම දෙන්න. 317 දෙනාගේ ජීවිතය බේරගන්න. යාත්‍රාව ගිලෙන්නයි යන්නේ, අපි පිලිපීනයයි, වියට්නාමයයි අතර ඉන්නේ..” යනුවෙන් යාත්‍රාවේ සිටි සරණාගතයෙකු දුරකතන මාර්ගයෙන් පවසා ඇත.

අදාළ යාත්‍රාවේ ලාංකීකයන් සිටිනවා ද යන්න සම්බන්ධයෙන් එදින බීබීසී දෙමළ සේවය විසින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ඉන්දික ද සිල්වාගෙන් විමසීමක් කළේය.

සරණාගතයින් සිටින යත්‍රාවක් විපතට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එහි ලාංකීකයන් සිටින බවට තොරතුරු ලැබී නොමැති බවත් ඔහු පැවසුවේය.

මෙම යාත්‍රාව ලංකාවේ ලියාපදිංචි කරන ලද්දක් නොවන බවත්, එය මෙරටින් ගමන් ආරම්භ කර නොමැති බවත් ඉන්දික ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Refugees

සිදු වූයේ කුමක් ද?

ලාංකීක සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාවක් මුහුදේ ගිලීමේ අවධානමක පසුවන බවට විදේශ අමාත්‍යංශය විසින් නොවැම්බර් 07 වැනිදා නාවික හමුදාව වෙත දැනුම් දෙන ලදී.

අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව සිංගප්පූරුව, වියට්නාමය මෙන් ම පිලිපීන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලය සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය මුදාගැනීමේ සම්බන්ධකරණ මධ්‍යස්ථානය වෙත මෙම පණිවුඩය හුවමාරු කර තිබේ.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ සිංගප්පූරු නිලධාරීන් සරණාගතයින් සමඟ විපතට මුහුණ දෙමින් සිටි නෞකාව හඳුනා ගැනීමට සමත් වූහ.

සරණාගතයින් රැගෙන ගමන් කරමින් සිටි යාත්‍රාවක් අසලින් ගමන් කළ ජපානයට අයත් ‘හෙලියෝස් ලීඩර්’ නෞකාවකට මේ සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ එම නෞකාව විසින් අදාළ පිරිස මුදාගෙන වියනට්නාම බලධාරීන් වෙත භාර දීමට කටයුතු කර ඇත.

සරණාගතයින්ව ආරක්ෂිතව බේරාගත් බව සිංගප්පූරු බලධාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් දැනුම් දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ඉන්දික ද සිල්වා බීබීසි පුවත් සේවයට ප්‍රකාශ කළේය.

මෙලෙස මුදාගත් සරණාගතයින් අතර පිරිමි පුද්ගලයන් 264කට අධික සංඛ්‍යාවක් සිට ඇති අතර කාන්තාවන් ඇතුළු දරුවන් ද එහි සිටී බව දැනගැනීමට ලැබිණි.

මෙම පිරිස මේ වනවිට වියට්නාමයේ ඇති කඳවුරක ප්‍රතිකාර ලබා ගනිමින් ආරක්ෂිතව සිටිති.

Refugees

ගමන ආරම්භ වූ ස්ථානය

මෙම සරණාගතයින් කැනඩාව බලා පිටත් ව යාමට සූදානම් වූ ආකාරය සම්බන්ධයෙන් බීබීසී පුවත් සේවය විසින් සොයා බැලීමක් සිදු කරනු ලැබීය.

උතුරු සහ නැගෙනහිර පළාතේ පදිංචිකරුවන් වැඩි පිරිසක් අදාළ යාත්‍රවේ ගමන් කළ බව එහි සිටින සරණාගතයෙකුගේ සහෝදරයකු බීබීසි පුවත් සේවය වෙත තහවුරු කළේ ය.

මෙම නෞකාවේ ගමන් ගත් පිරිස් තම දේපළ පවා විකුණා දමා නැවත ලංකාවට පැමිණීමේ අදහස අතහැර දමා කැනඩාව බලා පිටත් ව ගොස් තිබේ.

කැනඩාව බලා පිටත්ව යාමට සූදානම් ව සිටි එක් සරණාගතයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 5000 අය කළ බව මෙම ගමනට සම්බන්ධ වී සිටින පුද්ගලගයෙකුගේ සහෝදරයා තහවුරු කළේය.

මෙම ලාංකීකයන් මාස එකහාමාරකට පෙර මියන්මාරය බලා ගොස් ඇත.

සරණාගතයින්ගෙන් අය කළ මුදලින් මෙම ගමන සඳහා වන ගුවන් ටිකට් පත් සහ වීසා ඇතුළු සියලු පහසුකම් ලබා දීමට මිනිස් ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බව සඳහන්ය.

මියන්මාරයේ සිටි මෙම පිරිස පසුගිය ඔක්තෝබර් මස 10 වැනිදා කැනඩාව බලා සිය ගමන් ආරම්භ කළ මෙම යාත්‍රාව දින 28ක අසීරු මුහුදු ගමනක නිරත වූ අතර එහි දී මෙම යාත්‍රාවේ සිදුරක් නිර්මාණය වී ඇති බවත් ඒ හරහා යාත්‍රාව තුළට ජලය කාන්දු වන බවත් දැනගන්නට ලැබී තිබේ.

එය ගිලීමේ තර්ජනයට මුහුණ දී ඇති බවට වන තොරතුරු යාත්‍රාවේ සිටි සරණාගතයින් සමුද්‍රීය නිලධාරීන්ට දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔවුන් මුදාගැනීමට කටයුතු යොදා ඇත.

විශාල මුදලක් ගෙවා කැනඩාවට යාමට නොහැකි වීම සම්බන්ධයෙන් ඥාතීන්ගේ අදහස් විමසීමක් බීබීසි පුවත් සේවය විසින් සිදු කරන ලදී.

“සල්ලි ගැන කතාව අපි පැත්තකින් තියමු. ආයෙත් ලංකාවට එනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. අපි යුද්ධයෙන් පීඩා විඳි පසුබිමක් තියෙන සමාජයක්. රටට ආයෙත් එද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න ඇති වෙයි. අපේ ඥාතීන් සරණාගතයින් විදිහට ගියා කියලා කිව්වොතින් අපිටත් ප්‍රශ්න ඇති වෙයි. ඒ නිසා එයාලාව ලංකාවට එවන එකට වඩා කැනඩා නෙවෙයි, වෙනත් ඕනෑම රටකට යවන්න ඕනේ. ආයෙත් රටට එනවා කියන්නේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි. උතුරේ මහවිරු දින සැමරුම් කාලයේ දී දෙමළ ජනයාට ගොඩාක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා. මේ කාලයේ දී ඔවුන් ලංකාවට ආවොත්, ඒ අයට විරුද්ධව වෙනත් ආකාරයේ නඩු ගොනු කරන්න ඉඩ තියෙනවා. කොටි සංවිධානයට සම්බන්ධ කරලා නඩු ගොනු කරන්නත් ඉඩ තියෙනවා” යනුවෙන් ඔහු පැවසීය.

“300 දෙනාවම බලහත්කාරයෙන් ලංකාවට එවන එක මානුෂීය ක්‍රියාවක් නෙවෙයි. රටට එව්වොත් අපි සියදිවි නසා ගන්නවා හැර කරන්න වෙනත් දෙයක් නැහැ.” යනුවෙන් එහි සිටින සරණාගතයෝ පවසති.

“ඉඩම්, දේපළ විකුණලා ගිහින් ආයෙත් මෙහෙට ඇවිත් මොනවා කරන්න ද, රටට එව්වොත් සියදිවි නසාගන්න තමා වෙන්නේ” ඉඩම් විකුණා විදෙස් ගත වීමට උත්සහ කළ පිරිස එලෙස සඳහන් කළහ.

“මේකේ වගකීම ආණ්ඩුව ගන්න එකක් නැහැ. මේ අයව ලංකාවට ගෙන්වා ගන්න කටයුතු කරයි. නමුත් ඒක ඒ අයට අසීරු දෙයක්. සරණාගතයින් විදිහට ගිය අපේ ඥාතීන් නැවත ආවොත් ඔවුන්ට ආරක්ෂාවක් නැති වෙයි” යනුවෙන් ඥාතීයෙකු පැවසීය.

රජයේ ස්ථාවරය

වියට්නාමයේ සිටින ලාංකීක සරණාගතයින් ඉතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන විසින් සිදු කරනු ලබන මගීන් පරීක්ෂා කිරීම කටයුතු අවසන් වූ වහාම ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත.

පිලිපීනයේ, සිංගප්පූරුවේ සහ වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන සමඟ මගීන්ගේ ජාතිකත්වය තහවුරු කරගැනීමට පිළිබඳ පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ද එම අමත්‍යංශය පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ  නිවේදනය| විදේශ කටයුතු අමාත්‍යංශයේ  නිවේදනය

සරණාගතයින් මෙරට රැගෙන ඒමෙන් පසුව අත්අඩංගුවට ගන්නවා ද?

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය හරහා මෙම සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීමේ දී විදේශ කටයුතු අමාත්‍යංශය සහ ඔවුන් අතර ඇති කරගත් එකඟතා අනුව නෛතික පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසීය.

එම නිසා මේ පිළිබඳව ගන්නා පියවර සම්බන්ධයෙන් වහා තීරණය කළ නොහැකි බව ද ඔහු පැවසුවේය.

එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධ කරගනිමින් මෙම පිරිස් අත්අඩංගුවට ගනු ඇතැයි සරණාගතයින්ගේ ඥාතීන් තුළ ඇති චකිතය සම්බන්ධයෙන් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ අයෙකු සිටි නම් ඔහු සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා බවත්, එසේ නොමැති නම් එලෙස සිදු නොකරන බවත් ය.

(bbc/sandeshaya)