ඕමාන තානාපති කාර්යාල නිලධාරියා ගැන මීට පෙර තීරණයක් නොගැනීම පිළිබඳ කෝපා කමිටුව ප්‍රශ්න කරයි

ඕමාන තානාපති කාර්යාල නිලධාරියා ගැන මීට පෙර තීරණයක් නොගැනීම පිළිබඳ කෝපා කමිටුව ප්‍රශ්න කරයි
  • විදෙස් රැකියා සදහා පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් නොමැති වීමේ ගැටලුව විසදීම සදහා කෝපා අනුකමිටුවක්....

මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ඔමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඒ සදහා තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව (22) දින පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

අතිරේක විගණකාධිපති. පී.එල්.කේ පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවයි.

එසේම මෙම පුද්ගයා සම්බන්ධයෙන් මුදල් වංචා, සහතික වංචා ආදිය වාර්තා වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා පැවසීය. මේ අනුව මෙම පුද්ගලයා තනතුරේ රැදී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාමෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව මෙහිදී අනාවරණය විය.

මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබෙන තුරු පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය මීට අදාළ නිලධාරීන්ට පළ කළ සිටියහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් සිදු කළද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි. ඔමානයේ මෙරට තානාපතිවරයාගෙන් වාර්තාවක් කැදවීමෙන් අනතුරුව සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත කාර්යාංශය මගින් නිලධාරියාගේ වැඩතහනමකට ලක් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද වගකීම භාර ගන්නා බවයි. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීහු මෙහි වගකීම දැරිය යුතු බවයි.

හෙදියන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විදෙස් රැකියා සදහා පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම නොව අදාළ අනෙකුත් සියලු අමාත්‍යාංශ සහ ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කර විදෙස් රැකියා සදහා ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බවයි.

මේ අනුව කමිටු සභාපතිවරයා කම්කරු හා විදෙස් රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් විදෙස් රැකියාවල පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා වැඩපිළිවෙලක් මාස 2ක් තුළ සකස් කරන ලෙසයි. එසේම මේ සදහා කෝපා කමිටුවේ අනුකමිටුවක්ද පත් කරන බව කෝපා සභාපති කබීර් හෂීම් මහතා පැවසීය.

මෙම රැස්වීමට කෝපා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජේ.සී.අලවතුවල, අශෝක් අබේසිංහ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, වීරසුමන වීරසිංහ සහ (ආචාර්ය) හරිනි අමරසූරිය මෙහ්ම කම්කරු හා විදෙස් රැකියා අමාත්‍යාංශ ලේකම් ආනන්ද විමලවීර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ යන මහත්ම මහත්මීහූ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)