එතෙර සිට එන ගුවන් මගීන්ට අලුත් තහනමක්

එතෙර සිට එන ගුවන් මගීන්ට අලුත් තහනමක්

ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් ගමන් හරහා කැරට් 24 රන් පළඳනා සකස් කරගෙන පැමිණෙන බවටද වාර්තාවී ඇති අතර එමගින් මාසයකට අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ විදේශ විනිමයක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පසුගියදා සිදුකළ නියෝගයකට අනුව අදාළ වාර්තාව අමාත්‍යවරයාට භාරදී තිබේ.

එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාවාරම් කිරීමේ අරමුණින් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ මෙරටට ගුවන් මගීන් ලෙස පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

ඒ අනුව රන් භාණ්ඩවල තත්ත්වයන් හා ප්‍රමාණයන් පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

විදෙස්ගතව පැමිණෙන ශ්‍රමිකයින්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට අදාළ තීරණයෙන් කිසිඳු පීඩාවක් ඇති නොවන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.