ප්‍රංශයට පන්නන්න මිනිස් ජාවාරම් කළ ඒ්ජන්සිකරුවෙක් මාට්ටු

ප්‍රංශයට පන්නන්න මිනිස් ජාවාරම් කළ ඒ්ජන්සිකරුවෙක් මාට්ටු
අසර්බයිජානය හරහා ප්‍රංසයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කහතුඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
අසර්බයිජානයට යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස කහතුඩුව ප්‍රගති මාවත ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු කළ දැනුම්දීමක් අනුව ගුවන්තොටුපොළ කරා ගිය අවස්ථාවේදී තමන්ගේ නමට වීසා නොමැති බව පවසමින් හරවා එවූ බවට පුද්ගලයෙකු පැමිණිලි කර තිබුණි.
 
ඒ් වෙනුවෙන් තමන් රැකියා නියෝජිත වෙත රුපියල් ලක්ෂ අටක මුදලක් දුන් බව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශනවලදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
 
තමන් සමඟ තවත් පුද්ගලයන් 6 දෙනකු ගුවන් තොටුපොළ කරා ගියද ඔවුන්ටද,  විදේශගත වීමට නොහැකි වූ බව එම පුද්ගලයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.. 
 
ඒ් අනුව මඳ වේලාවක දී තවත් පුද්ගලයන් 6 දෙනකු පොලිසිය වෙත පැමිණ තමන් කහතුඩුව රැකියා නියෝජිත ආයතන වෙත රුපියල් ලක්ෂ 62ක මුදලක් ලබා දී විදේශගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත ගිය ද එම නියෝජිතයා තමන්ව ගුවන්තොටුපළ තුළට පමණක් රැගෙන ගිය බවට සඳහන් කරමින් පැමිණිලි කර තිබුණි.
 
ඒ අනුව සිදු කළ දීර්ඝ විමර්ශනවලදී එකී පැමිණිලිකාර පිරිස ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් සංචාරක වීසා මත අසර්බයිජානයට ගොස් ප්‍රංසයට යාමේ සැලසුමක් අනාවරණය වූ බව පොලිසිය කියයි.
 
ඒ අනුව එම හත් දෙනා අත්අඩංගුවට ගත් පොලිසිය විදේශගත වන බවට පවසා මුදල් වංචා කළ රැකියා නියෝජිත ආයතන හිමිකරු ද අත්අඩංගුවට ගනු ලැබීය. 
 
සැකකරුවන් සියලු දෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.