ලෝක කුසලානය 2022: ආසියානු නගරයේ ඇතුළාන්තය - ලෝක කුසලානය ගොඩනඟන සංක්‍රමණික සේවකයින්ගේ සාක්ෂි

ලෝක කුසලානය 2022: ආසියානු නගරයේ ඇතුළාන්තය - ලෝක කුසලානය ගොඩනඟන සංක්‍රමණික සේවකයින්ගේ සාක්ෂි

කටාර්හි අල් ජනූබ් ක්‍රීඩාංගනයේ සිට කිලෝමීටර් විස්සක් දුරින් පිහිටි ස්ථානයක, දහස් සංඛ්‍යාත සංක්‍රමණික කම්කරුවෝ යෝධ තිරයක් මත පාපන්දු තරගයක් නරඹමින් සිටිති. ඔවුන් ඉදිකළ ක්‍රීඩාංගනයක පැවැත්වෙන ක්‍රීඩාවක් නරඹන්නට ලැබෙනවා වෙනුවට ලැබෙන ආසන්නතම අත්දැකීම මෙය යි.

ඔවුන්ගේ ආරක්ෂාව සඳහා, පහත නම් ගම් වෙනස් කර ඇත.

සිකුරාදා රාත්‍රියේ දී සංක්‍රමණික කම්කරුවන් දහස් ගණනක්, දීප්තිමත් සාප්පු සංකීර්ණ සහ ආපනශාලාවලින් යුත් දෝහා නගරයට ඈතින් පිහිටි ඒෂියන් ටවුන් ක්‍රිකට් ක්‍රීඩාංගනයට රොක් වෙයි.

පිවිසුම් දොරටුවේ අරාබි, ඉංග්‍රීසි සහ හින්දි භාෂාවෙන් යුත් දැවැන්ත බැනරයක මෙසේ ලියා ඇත: "මෙය මෙතෙක් පැවති හොඳම FIFA ලෝක කුසලානය බවට පත් කිරීමට ඔබ දැක්වූ දායකත්වයට ස්තූතියි."

"මේ තමයි දුප්පත් මිනිස්සුන්ගේ රසික කලාපය," දහස් ගණන් මිනිසුන් අතර වාඩිවී සිටින ඝානාවේ සංක්‍රමණිකයෙකු වන ජෝන් පවසයි. කටාර්හි ලෝක කුසලාන යටිතල පහසුකම් ගොඩනැගීමට වෙහෙස වූ දහස් ගණනක් කම්කරුවන්ගෙන් අයෙකි ඔහු.

"මගේ කොන්ත්‍රාත්තුව අවුරුදු දෙකක් වුණත් මට අවුරුදු 10ක් ඉන්න ඕන," ජෝන් පවසයි.

"මම කටාරයට කැමතියි, නමුත් පොලිසියට යනවා ද නැත්නම් ඔවුන්ගෙන් පලායනවා ද කියලා සමහර වෙලාවට හිතාගන්න බැහැ. එයාලා දැක්කාම බය හිතෙනවා," ඔහු සිනාසෙයි.

නමුත් සෑම කෙනෙකුටම ජෝන් තරම් ධනාත්මක බවක් දැනෙන්නේ නැත.

උගන්ඩාවේ ආර්ථික සංක්‍රමණිකයෙකු වන මෝසස් පවසන්නේ "අපි වහලුන් වගේ වැඩ කරනවා," යනුවෙනි.

"රස්නෙ වැඩියි, සමහර වෙලාවට අපි එකඟ නොවුණ පැය ගණනක් වැඩ කරනවා. කොන්ත්‍රාත්තුවේ තියෙන්නේ පැය අටක් වුණත් අපි පැය 13ක් හෝ 15ක් වැඩ කරනවා."

"ඒත් මම ඉවසගෙන ඉන්නවා. එතකොට ගෙදර ඉන්න මගේ මල්ලිලාට කන්න, ඉගෙන ගන්න පුළුවන් වෙනවා," මෝසස් පවසයි.

Doha workers and Football fans watch the match between Portugal and Ghana at the Industrial Area Fan Zone in the Asian Town Cricket Stadium

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී කටාර්හි සංක්‍රමණික සේවකයින්ට සැලකූ ආකාරය බොහෝ මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම දැඩි ලෙස විවේචනය කර ඇත.

2022 ලෝක කුසලාන යටිතල පහසුකම් ඉදිකිරීමේ දී සංක්‍රමණිකයන් දුසිම් ගණනක් මියගිය බව පවා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රකාශ කර ඇත.

මෝසස් කටාර්හි දී බීබීසීයට පැවසුවේ ඔහුගේ සගයන් දෙදෙනෙකු ඔහු සමග වැඩ කරමින් සිටිය දීම මියගිය බව යි. බීබීසීයට මෝසස්ගේ ප්‍රකාශය ස්වාධීනව තහවුරුකර ගැනීමට නොහැකි විය.

"එක්කෙනෙක් රස්නෙ නිසා කලන්තෙ දාලා වැටිලා මැරුණා," මෝසස් පවසයි

සංක්‍රමණික සේවක මරණ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බීබීසී කළ ඉල්ලීමට කටාර් බලධාරීන් ප්‍රතිචාර දැක්වූයේ නැත.

කෙසේ වෙතත්, රජයේ ප්‍රකාශකයෙකු මෑතක දී බීබීසීයට පැවසුවේ බොහෝ ගල්ෆ් රටවල් මෙන් නොව, කටාර් රාජ්‍යය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර ඇති අතර එමඟින් විදේශීය ශ්‍රමිකයින් සඳහා වන සේවා කොන්දේසි විශාල ලෙස වැඩි දියුණු කර ඇති බව යි.

ඔවුන් අවම වැටුපක් පනවා ඇති අතර, මතභේදයට තුඩු දී ඇති කෆාලා ක්‍රමය, එනම්, සේවකයෙකු තම සේවා යෝජකයාගේ අවසරයකින් තොරව රැකියාව වෙනස් කරන්නේ නම් ඔවුන්ට නඩු පැවරීමට, අත්අඩංගුවට ගැනීමට සහ පිටුවහල් කිරීමට ඇති හැකියාව තහනම් කර තිබේ.

මසකට කටාර් රියාල් 1,000ක අවම වැටුපකට හෝ ඊට ආසන්න ගණනක් වෙනුවෙන් සතියකට දින හයක් දිනකට පැය 12කට වඩා වැඩි කාලයක් වැඩ කරන බව බොහෝ දෙනෙක් අප සමග පැවසුවෝ ය.

තමා වෙසෙන ප්‍රදේශයෙන් මිදී දෝහා නගර මධ්‍යයට පැමිණීම ඔවුන්ට දැරිය නොහැකි සුඛෝපබෝගී වියදමකි.

"මට දැනෙන්නේ මම කූඩුවක ඉන්නවා වගේ," ජෝන් පවසයි. "තරගයක් බලන්න යන්න මම හිතුවෙවත් නැහැ. සමහර විට මම දවසක නිදහස් වේවි. ඒත් මේ රසික කලාපය තියෙන්නේ අපි වෙනුවෙන්. මම ඒ සඳහා කටාර් රාජ්‍යයට ස්තූතිවන්ත වෙනවා. මම ඒකට කැමතියි," ජෝන් පවසයි.

Migrant workers follow the FIFA World Cup 2022 matches at a giant screen set up at a cricket stadium in Doha

අප විමසූ බොහෝ දෙනෙකු කියා සිටියේ කටාර් බලධාරීන්ට වඩා ඔවුන් සේවය කළ සමාගම් සමග ඔවුන් කලකිරීමට පත්ව සිටින බව යි. කෙසේ වෙතත්, ඔවුන් සේවය කරන්නේ කුමන සමාගම්වල ද යන්න කිසිවෙකු හෙළි නොකරයි.

මාධ්‍යවේදීන්ට කතා නොකරන ලෙස ආයතන ප්‍රධානීන් තමන්ට අවවාද කර ඇතිබව ඔවුන් පැවසීය.

"අපිට කතා කරන්න බෑ. අපිට ප්‍රශ්න දාගන්න ඕන නෑ. ඒත් අපි කොහෙත්ම සැප පහසු ජීවිත‍යක් නෙවෙයි ගත කරන්නේ," එක් සේවකයෙක් පැවසුවේ ය.

හියුමන් රයිට්ස් වොච් (HRW) මෑතක දී කටාරය යම් වැඩිදියුණු කිරීම් සිදුකර ඇති බව පිළිගත්තේ ය. නමුත් "සංක්‍රමණික කම්කරුවන් රටට ඇතුළුවීම, පදිංචිය සහ රැකියා ලබා ගැනීම සඳහා ඔවුන්ගේ සේවා යෝජකයන් මත සම්පූර්ණයෙන්ම යැපේයැ,"යි ද පැවසීය.

"සේවායෝජකයන් තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ විට කම්කරුවන් මතම එම වරද පැටවෙන අතර, ඒවායේ ප්‍රතිවිපාක විඳින්නේ සේවායෝජකයන් නොව කම්කරුවන් ය."

විශේෂයෙන්ම මෝසස්ට තම සේවායෝජකයාගේ ගිවිසුමෙන් මිදීමට නොහැකි වී තිබේ.

"අපි ගොඩක් ආයතනයට වැඩ කළත් අපිට ලැබෙන්නේ බොහොම පොඩ්ඩ යි. මම ජොබ් එක මාරු කරන්න බලාගෙන ඉන්නේ," මෝසස් කියයි.

"ලෝක කුසලානයෙන් පස්සේ මේවා ලොකුවට වෙනස් වෙන එකක් නැහැ කියලා මම හිතනවා. තත්ත්වය තවත් නරක අතට හැරේවි."

(හොසේ කාර්ලොස් කුවෙතෝ සහ සෑම් ෂෙරින්හැම් බීබීසී මුන්ඩෝ, කටාරයේ සිට - bbc/sandeshaya)