මෙල්බර්න්හිදී ශ්‍රීලංකන් ගුවන්යානය ප්‍රමාද වූ හේතුව හෙළිවෙයි

මෙල්බර්න්හිදී ශ්‍රීලංකන් ගුවන්යානය ප්‍රමාද වූ හේතුව හෙළිවෙයි
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන්තොටුපළේදී පසුගිය 15 වනදා ශ්‍රීලංකන් ගුවන්යානයක් පැය කිහිපයක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ එහි පරිගණක පද්ධතියේ තිබූ දෝෂයක් නිසා බව හෙළිවී තිබේ.
 
ඊයේ (24) පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී ඇත.
 
මෙහිදී  අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ පරිගණකයේ කොටස් නිෂ්පාදිත සමාගම වෙත යැවීමට මේ වනවිට කටයුතු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව හා  එම පරීක්ෂණය නිමවූ පසු එම වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරන බවත්ය.
 
මේ අතර ඩුබායි සඳහා යමින් සිටි ගුවන්යානාවක අභ්‍යන්තර පීඩනය පිළිබඳව ඇතිවූ ප්‍රශ්නයක් මත එය නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ආ බවත් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භකර ඇති බවත් එහිදී ප්‍රකාශකර තිබේ.
 
එමෙන්ම අමාත්‍යවරයා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිලධාරීන්ට පවසා ඇත්තේ ලෝකයේ එවැනි වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙසටය.
 
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සතුව එකදු ගුවන්යානයක්වත් නොමැති බැවින් මේ වනවිට එම සේවාව පවත්වාගෙන යනු ලබන්නේ විවිධ සමාගම්වලින් කල්බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා භාවිතයෙනි.
 
එමෙන්ම මෙම යානාවල ද කල්බදු කාලසීමාවන් ඉකුත් වී ඇති බැවින් අලුත් ගුවන්යානා ලබාගැනීමට කටයුතු කරන බවත් එම සමාගමේ නිලධාරීන් මෙහිදී පවසා තිබේ.
 
එසේම ශ්‍රීලන්කන් ගුවන්සේවා සමාගමේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය ආරම්භකර ඇති බවත් ඒ සඳහා මහ භාණ්ඩාගාරයෙන් කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.