ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් අයෙක් මාකොළ දී අත්අඩංගුවට

ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගත් අයෙක් මාකොළ දී අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ඊයේ දින (2023.06.26) කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මාකොළ ප්‍රදේශයේ පදිංචි, හෙට්ටිආරච්චිගේ ධනුෂ්ක ප්‍රභාත් පෙරේරා නම් සැකකරු ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු.390,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකරු කාර්යාංශය වෙත කැඳවූ අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මීට පෙරද වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් ඇප නියම වී සිටි පුද්ගලයෙකි.

සැකකරු එදිනම අලුත්කඩේ අංක 5 දරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, 2023.07.07 දින නඩුව යළි කැඳවීමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.