ඔබ ඉතාලි යන්න අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න!

ඔබ ඉතාලි යන්න අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැනත් දැනුවත් වෙන්න!
කූඨ ලේඛන භාවිත කරමින් ඉතාලියට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන - විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔවුන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි බලා පිටත්ව යන එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.-279 දරණ ගුවන් යානයෙන් ගමන් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ ඊයේ පස්වරුවේදීය.
 
එහිදී එම යුවළ පිළිබඳ ඇති වූ සැකය මත ඔවුන් ආගමන - විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත කැඳවා ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර 02 ක් සහ තරුණයාට අයත් ව්‍යාජ වීසා බලපත්‍රයක් ද සොයාගෙන තිබේ.
 
එහිදී තරුණියගේ වීසා බලපත්‍රය පිළිබඳව විමසූ විට ඇය නිහඬව සිටීම නිසා ශ්‍රී ලංකා ආගමන - විගමන කාන්තා නිලධාරිනියක් එම ස්ථානයට කැඳවා, තරුණිය පරීක්ෂා කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇත. 
 
එහිදී ඇයගේ යට ඇඳුම තුළ, එම ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍රය සඟවා ගෙනවිත් තිබියදී සොයාගෙන තිබේ. 
 
එලෙස සොයාගත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකෙහි නම් සඳහන් සැබෑ හිමිකරුවන් වූ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි යුවළ ද ඒ වනවිටත්, ඔවුන්ගේ සත්‍ය ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එම ගුවන් යානය තුළ අසුන්ගෙන සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
 

අත්අඩංගුවට ගත් යුවළ, වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දී තිබේ.