මිනිස් ජාවාරම්වලට එරෙහිව ජාත්‍යන්තර පොලීසියේ ඒකාබද්ධ මෙහෙයුම සාර්ථකයි 

මිනිස් ජාවාරම්වලට එරෙහිව ජාත්‍යන්තර පොලීසියේ ඒකාබද්ධ මෙහෙයුම සාර්ථකයි 
INTERPOL සහ AFRIPOL මිනිස් ජාවාරමට සහ සංක්‍රමණික ජාවාරමට එරෙහිව සිදුකළ පළමු ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා 1,000 කට අධික අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් සිදුකර, තවත් වින්දිතයන් දහස් ගණනක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ.
 
අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බට මිනිස් ජාවාරම් සහ සංක්‍රමණික ජාවාරම් පිටුපස ඇති සංවිධානාත්මක අපරාධ ජාලයන් විසුරුවා හැරීම සඳහා රටවල් 54 ක නීතිය බලාත්මක කිරීමේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණය කරන ලද “FLASH-WEKA” මෙහෙයුම මැයි සහ ජුනි අතර අදියර දෙකකින් සිදු කෙරුණි.
 
මෙහිදී INTERPOL හි ගෝලීය අපරාධ දත්ත සමුදායන් භාවිතා කරමින්, දේශසීමා හරහා ක්‍රියාත්මක වන අපරාධකරුවන් සොයා ගැනීමට, බාධා කිරීමට සහ නැවැත්වීමට මෙහෙයුම් සිදුකර තිබේ.
 
එහි ප්‍රතිඵල ලෙස මුළු අත්අඩංගුවට ගැනීම් 1,062 ක් සිදුකර ඇති අතර, අක්‍රමවත් සංක්‍රමණිකයන් 2,731 ක් හඳුනාගනු ලැබු බව වාර්තා වේ.
 
එසේම, මිනිස් ජාවාරමට ගොදුරු වූවන් 823 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගිනි අවි වාහන ඇතුළු අත්අඩංගුවට ගත් අපරාධ භාණ්ඩ සංඛ්‍යාව 801 කි. මෙම මෙහෙයුමෙන් සැලකිය යුතු හෙළිදරව්වක් වූයේ ජාවාරම්කරුවන් විසින් අන්තර්ජාල මෙවලම් බහුලව භාවිතා කිරීමය. විශේෂයෙන්, ඊ-වාණිජ්‍ය වේදිකා හරහා ජාවාරම් සඳහා බඳවා ගැනීම්වල කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබුණු බව අනාවරණය විය.
 
බුර්කිනා ෆාසෝ, කැමරූන්, කෝට් ඩි අයිවෝර්, ඝානා, ගිනියා සහ මාලි යන රටවල ක්‍රියාත්මක වන ජාල මෙහෙයුමේදී හඳුනා ගන්නා ලද අතර, කැමරූන් හි, ජාවාරම්කරුවන් විසින් බහුලව භාවිතා කරන Q.Net වේදිකාවේ ක්‍රියාත්මක වන පිරමිඩ යෝජනා ක්‍රමයකට ගොදුරු වූවන් බේරා ගන්නා ලද අතර අපරාධකරුවන් යැයි කියනු ලබන අය අත්අඩංගුවට ගැනීමක්ද, සිදුවිය.
 
ක්‍රීඩාවට සම්බන්ධ මිනිස් ජාවාරම් පිළිබඳ අවස්ථාද මෙහිදී අනාවරණ කර ගැනුණි.
 
පාපන්දු ඇකඩමිවලට සම්බන්ධ වීමේ ව්‍යාජ මුවාවෙන් ගල්ෆ් රටවලට පොළඹවා ගත් වින්දිතයන්, ඔවුන් ජාවාරමට සහ සූරාකෑමට ලක්ව ඇති බව එහිදී අනාවරණ කර ගෙන ඇත. 
 
මෙම මෙහෙයුමෙන් සොයා ගන්නා ලද වින්දිතයන් විවිධ ජාතීන්ට අයත් වන අතර, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක පුද්ගලයින් ගොදුරු වූවන් අතර විය.
 

ඇන්ගෝලාවේ, හෝටල් සහ රූපලාවන්‍යාගාරවල රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන්ව රැවටූ වියට්නාම කාන්තාවන් හත් දෙනෙකු ඔවුන්ගේ ජාවාරම්කරුගෙන් බේරා ගැනීමට හැකිව තිබුණු බව වැඩිදුරටත් අනාවරණය විය.ත.