ඉන්දුනීසියාවේදී මිය ගිය ලාංකික කෝටිපතියාගේ සිරුර මාස 8ට පසු දිවයිනට

ඉන්දුනීසියාවේදී මිය ගිය ලාංකික කෝටිපතියාගේ සිරුර මාස 8ට පසු දිවයිනට
ඉන්දුනීසියාවේදී මිය ගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මළසිරුර මාස 08 කට පසු දිවයිනට රැ‌ගෙනවිත් තිබේ.
 
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගුවන් මගින් ඔහුගේ සිරුර රැගෙනවිත් ඇති අතර, ඔහු කොළඹ - 07 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතා ඉකුත් ජනවාරි මස 17 වැනිදායි ඉන්දුනීසියාවේ සංචාරයකට පිටත්ව ගොස් තිබුණි.
 
ඔහු සමඟ අවුරුදු 04 ක් වයසැති දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු එම සංචාරයට එක්ව සිටියහ.
 
සංචාරය සඳහා පිටත්ව ගිය පසුත් ඔහු සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින සිය සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදුකර තිබුණත්, ජනවාරි 31 වැනිදා සිට ඔහු දුරකථන ඇමතුම් ලබා දීම නැවතීම නිසා, සහෝදරිය විසින් ඔවුන් නැවතී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබාදී මෙම ව්‍යාපාරිකයා පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දී තිබේ.
 
ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයන්, ඔවුන් නැවතී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයා ගනු ලැබිණි.
 

දිවයිනට රැගෙන එනු ලැබූ මළසිරුර මේ වනවිට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.