කුවෙයිට්හි මරණ දඬුවම හිමිවූ ලාංකිකයාගේ සිරුර ගන්න ස්ත්‍රීනි තිදෙනෙක් ඇවිත්

කුවෙයිට්හි මරණ දඬුවම හිමිවූ ලාංකිකයාගේ සිරුර ගන්න ස්ත්‍රීනි තිදෙනෙක් ඇවිත්
මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවෙකුවීමෙන් කුවේට්හිදී එල්ලා මරණ ලද ශ්‍රී ලාංකිකයෙකුගේ දේහයට හිමිකම් කියමින් ස්ත්‍රීන් තිදෙනකු ඉදිරිපත්වී තිබේ.
 
මරණ දඬුවම හිමිවී ශ්‍රී ලංකාවට ගෙන එන ලද පුද්ගලයාගේ දේහයේ මරණ පරීක්ෂණය මීගමුව රෝහලේදී ඊයේ (02) සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
 
කෙසේ වෙතත්, එම කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී මියගිය පුද්ගලයාගේ බිරින්දෑවරුන් බව පවසමින් කාන්තාවන් තිදෙනෙකු ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ.
 
එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් අදාළ දේහය පිළිබඳ මරණ පරීක්ෂණ කටයුතු අද (03) දිනය දක්වා කල්දැමීමට සිදුවී ඇතැයි සඳහන්ය.
 
මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පසුගිය 27 වනදා ඔහුව එල්ලා මරණයට පත්කර තිබූ බව වාර්තා විය.
 
මෙලෙස ඉදිරිපත්වී ඇති කාන්තාවන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් ඕමානයේ රැකියාවේ නියුතු තැනැත්තියකි.
 
ඇය සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ ඔහු සමඟ විවාහ වී වසර 17ක් පමණ වන බව හා ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්ද, වන බවයි.
 
ඇය වැඩිදුරටත් මෙලෙස කියා තිබුණාය.
 
"තාත්තාව කුවේට් රටේදී එල්ලා මරා දමන ලද බවට යූ ටියුබ් මගින් දැනගත් පුතා මට කිව්වා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ බව දැනගෙන මම ලංකාවට ආවා. ඔහුගේ දේහය ගුවන් මගින් කටුනායකට එවා තිබුණා. මගේ ස්වාමියා තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග විවාහ වී සිටි බව පසුව දැනගත්තා. මම මෘතදේහය භාර ගැනීමට කැමති නැහැ. එහෙත් අවසන් කටයුතුවලට සහභාගීවීමට මට අවස්ථාව දෙන්න."
 
කෙසේවෙතත් මියගිය අයගේ බිරින්දෑවරුන් කියන අයගේ අනන්‍යතාව තහවරු කර විවාහ සහතිකය සහ දරුවන්ගේ උප්පැන්න සහතික සමඟ පරීක්ෂා කර අද (03) ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණි.