විදේශයේ රැකියා සොයා ගිය ලාංකිකයින් 27ක් සිරගෙවල් වල

විදේශයේ රැකියා සොයා ගිය ලාංකිකයින් 27ක් සිරගෙවල් වල

මෙම වසරේ දී, රුසියානු බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 10 දෙනෙකු රුසියානු සමූහාණ්ඩුවේ විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල තවදුරටත් රඳවා සිටින බවත් එරට මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියයි.

මෙම වසරේ දී, රුසියානු බලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 10 දෙනෙකු රුසියානු සමූහාණ්ඩුවේ විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල තවදුරටත් රඳවා සිටින බවත් එරට මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කියයි. එම කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ මොවුන් රැකියා අවස්ථා ලබා ගැනීමේ අරමුණෙන් ශිෂ්‍ය, සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණීමෙන් පසුව අත්අඩංගුවට පත් අය බවයි.

මෙසේ අත්අඩංගුවට පත් 27න් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තා වේ. මීට අමතරව සංක්‍රමණික සේවකයින් ලෙස නීතිවිරෝධී අන්දමින් රැඳී සිටීම, වීසා බලපත්‍ර කල් ඉකුත්වීම සහ සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම, ව්‍යාජ ශිෂ්‍ය/රැකියා වීසා බලපත්‍ර ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස රාජ්‍ය දේශසීමා තරණය කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් ගණනාවකට සිර දඬුවම් හා දඩ නියම කර ඇති බව රුසියානු නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියානු සමූහාණ්ඩුව වෙත පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන බවත්, එසේ කරන්නන්ට දඬුවමකට ද යටත් වීමට සිදුවන බව පැවසේ. ව්‍යජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයින් එරටදී නීතියේ රැහැනට අසුවන බැවින් හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ. ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ශ්‍රී ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන විදේශික ශ්‍රී ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීතිවිරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇති බවද පැවසේ.

බොහෝ විට, ඉහළ වැටුප් සහිත රැකියා ලබාගැනීම සහ දේශසීමා හරහා යුරෝපා රටවලට ඇතුළුවීම සඳහා පහසුකම් සැලසීමේ ව්‍යාජ පොරොන්දු මඟින් නොමඟ යවනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ශිෂ්‍ය/සංචාරක වීසා මඟින් එරටට යැවීම සිදු කෙරෙන බවද වාර්තා වේ. තවද, රුසියාව කරා ගමන් කිරීම සඳහා මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සැලකිය යුතු තරම් විශාල මුදල් ප්‍රමාණ මෙම නියෝජිතවරුන් විසින් අයකරනු ලබන බව සඳහන් වී ඇත. ඉන්පසු, ඔවුන් නීතිවිරෝධී ලෙස බෙලරුස්, යුක්‍රේනය වැනි රටවලට සහ තවදුරටත් යුරෝපය තුළට මිනිස් ජාවාරමක් ලෙස යැවීම සඳහා උත්සාහ දරනු ලබන බවද එහි දැක්වේ.

මූලාශ්‍රය - ශ්‍රී ලංකා මිරර්

වැඩබිම