ජෝර්දාන් ගිය ලාංකිකයින් 43ක් එරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ

ජෝර්දාන් ගිය ලාංකිකයින් 43ක් එරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ
සංචාරක වීසා මත ජෝර්දානයට රැගෙන ගොස් එතැන් සිට පලස්තීනයට කැඳවාගෙන යාමට රඳවා සිටි ග්‍රී ලාංකිකයන් 43 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබේ. 
 
මෙම පිරිස අතර කාන්තාවන් ද සිටින බවත්, මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ජෝර්දාන ජාතිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය උපුටා දක්වා ඇත. 
 
පලස්තීනයේ රැකියා ලබා දෙන බව පවසා මොවුන් ජෝර්දානයට රැගෙන විත් ඇති බව වාර්තා වේ. 
 
පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ජෝර්දානයේ සංචාරක හෝටලයක් තුළ සංචාරක පිරිසක් ලෙස අඟවා රඳවා ඇති බවත්, එහිදී මේ සම්බන්ධයෙන් එරට මහජන ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලයට තොරතුරු ලැබී ඇති බවත් කියැවෙයි. 
 
මහජන ආරක්ෂක අධ්‍යක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරු අනුව ඔවුන් අදාළ හෝටලයේ මෙහෙයුමක් දියත් කර තිබේ. 
 
මේ පිළිබඳ ජාවාරකම්කරුවන්ට තොරතුරු ලැබීම හේතුවෙන් ඔවුන් ග්‍රී ලාංකිකයන් පිරිස වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බව සඳහන්ය.
 
ඒ පිළිබද හෝටලයේ හිමිකරු ජෝර්දාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර ශ්‍රී ලාංකිකයින් පිරිස නිවසක රඳවා සිටියදී, පසුව හමු වී තිබේ. 
 

මීට සම්බන්ධ තවත් පිරිසක් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව වැඩිදුරටත් වාර්තා වේ.