රුමේනියා රැකියා දෙන්න ගිය හතරකට වසර 5ක අත්හිටවූ සිර දඩුවම්

රුමේනියා රැකියා දෙන්න ගිය හතරකට වසර 5ක අත්හිටවූ සිර දඩුවම්

රුමේනියා රටේ රැකියා ලබාදෙන බව පවසමින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ ඉතාලි ජාතිකයෙකු ඇතුළු ලාංකිකයින් තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2022.11.20 දින අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, ගරු අධිකරණය මගින් නඩු විභාගය සඳහා දෙන ලද නියමය අනුව, 2023.01.30 දිනට නඩුව කල් තබනු ලැබූ අතර, 2023.01.30 දින ගරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාල සැකකරුවන් සිව්දෙනා සඳහා දඩුවම් නියමය ලබාදෙන ලදී. 

ඒ අනුව එහිදී, ඔවුන් විසින් විදේශ රැකියා ලබාදෙන බවට සිදුකළ මුදල් ජාවාරමේ වරද පිළිගත් බැවින්, වරදකරුවන් අතරින් පැමිණිල්ලේ පළමු, දෙවන හා තෙවන වරදකරුවන් සඳහා රු.100,000.00 බැගින් වූ දඩ නියම කළ අතර, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම කරන ලදී. තවද, මෙම වරදකරුවන් තිදෙනාට මාස 6ක සිර දඩුවමක් නියම කර එය වසර 5ට අත්හිටුවා මෙවැනි වැරදි යළි නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් දැඩිව අවවාද කර ඇත.  පැමිණිල්ලේ සිව්වන වරදකරුට රු.35,000.00 ක දඩයක් හා වසරක සිර දඩුවමක් නියම කර, එම සිර දඩුවම වසර 5ට අත්හිටුවා ඇත.

විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුලභාවය හා අනුමත රැකියා ඇබෑර්තු තිබේදැයි තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.