විදෙස්ගත ලාංකිකයින් 5000කට ගුවන් ටිකට් පත් නොමිලේ ලබා දීමට සැලසුම්

විදෙස්ගත ලාංකිකයින් 5000කට ගුවන් ටිකට් පත් නොමිලේ ලබා දීමට සැලසුම්

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ වැඩ පිළිවෙළ කඩිනම් කිරීමේ වැඩසටහන යටතේ මැද පෙරදිග විදෙස් ගත ශ්‍රමිකයන් 22,483ක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ හා විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිළුමිණට කීවේය.

ඒ අනුව මැද පෙරදිග විදෙස්ගත ශ්‍රමිකයන්ට මුල් තැනන් ලබා දී ඇතැයි පැවසූ ඇමැතිවරයා කුවේට් රාඡ්‍යයේ සිටින 5,000කට ආසන්න ශ්‍රමිකයන් නොමිලේ මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය (IOM) හා සාකච්ඡා පවත්වා ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය. ඔවුන් ඒ සඳහා කැමැත්ත පළ කර ඇතැයිද ඒ පිළිබඳ අවසන් තීරණය එළඹෙන 9 වැනිදා එම නියෝජිතයන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ලබා දෙනු ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් දැනුම් දී ඇති බව පැවසූ ඇමැතිවරයා ප්‍රධාන ගැටලුව වී ඇත්තේ පැමිණෙන ශ්‍රමිකයන් නිරෝධායනයට ලක් කිරීමට ස්ථාන පිළිබඳ ගැටලුව යැයිද කීවේය.

විශාල පිරිසක් එකවර මෙරටට පැමිණි විට ඔවුන් නිරෝධායනය කිරීමේදී මතු වන ගැටලුව අවම කර ගැනීම පිණිස නිවෙස් නිරෝධායනයට ඔවුන් යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිවෙස් වෙත ගොස් වෙනම කාමරයක් හා අවශ්‍ය සෙසු පහසුකම් ලබා ගත හැකි බවට වාර්තාවක් ලබාදෙනු ඇත. මේ වන විටත් එතෙර ශ්‍රමිකයන් 32,737ක් මෙරටට ගෙන්වා ඇතැයිද ඇමැතිවරයා කීවේය.