විදුලි බිල වැඩි කළාට විරෝධය දක්වන්න ලංවීම සේවකයින් අද (01) කොළඹට

විදුලි බිල වැඩි කළාට විරෝධය දක්වන්න ලංවීම සේවකයින් අද (01) කොළඹට

ලං.වි.ම. ස්ථාපිත කර වසර 54 ක් පිරෙන දින එනම් 2023 නොවැම්බර් 01 වන බදාදා දින ලෙඩ නිවාඩු වාර්තාකර ලං.වි.ම. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත විරෝධතාවයක් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 14 කට කොටස්කර විදේශීය සමාගම්වලට විකිණීමට අවශ්‍ය කරන කෙටුම්පත දැනටමත් සකස් කර අවසන්ය. රටේ සියලුම ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල දවසින් දවස වැඩි කරමින් විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි තත්වයක් උදාකර ඇති බව.

සේවකයින්ට වසර 03 කට ආසන්න කාලයක් වැටුප් වැඩිකර නැත. වැටුප් විෂමතාවය වහාම විසදිය යුතුය. ලං.වි.මට පාඩු කළ දේශපාලකයන් හා නිලධාරීන් නිදැල්ලේය. මෙහි සියලු දොස් හා බර සේවකයින් හා ජනතාව මත පටවා ඇත.

මේ තත්වය සැලකිල්ලට ගෙන සේවකයන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට ඉල්ලු සාකච්ඡාවද ලබා නොදීමට ඇමතිවරයා කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් බලවත් විරෝධය පළකිරීමට ලං.වි.ම. ස්ථාපිත කර වසර 54 ක් පිරෙන දින එනම් 2023 නොවැම්බර් 01 වන බදාදා දින ලෙඩ නිවාඩු වාර්තාකර ලං.වි.ම. ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ දැවැන්ත විරෝධතාවයක් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා දිවයින පුරා සියලු බලාගාර, කාර්යාල, වැඩබිම්වල සේවකයින් අතිවිශාල ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත ය.