සෞඛ්‍ය සේවක වර්ජන හා උද්ඝෝෂණ අද (01) සිට අඛණ්ඩව

සෞඛ්‍ය සේවක වර්ජන හා උද්ඝෝෂණ අද (01) සිට  අඛණ්ඩව

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වෘත්තීය සමිති 72ක් හෙට පැය 4ක වැඩ වැරීමක් සහ උද්ඝෝෂණ හා එයට රජය ප්‍රතිචා නොදැක්වුවහොත් අප්‍රේල් 02 වෙනිදා උදේ 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහිදි වැඩිදුරටත් පවසා සිටින්නේ, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්ති සමිති 72ක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලක්ෂයකට අධික ප්‍රමාණයක් ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා මාස දෙක හමාරකට වැඩි කාලයක් තිස්සේ විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර වර්ජන ක්‍රියාමාර්ග වලින් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයට තව ඉල්ලීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකලා.

නමුත් මෙම ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කළ වාර්තාව මාර්තු 05 වෙනිදා මුදල් අමාත්‍යංශයට යොමු කළත් ඒ සඳහා අනුමැතිය මේ වනතෙක් ලබාදී නැහැ.

දිවයින පුරා සියලු රෝහල්වල 01 වෙනිදා සේවාවෙන් ඉවත් වීමේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළත් හෙට දවසේ (අප්‍රේල් 01) ජනාධිපති කාර්යාලයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් එම ආයතන සංඛ්‍යාව පහකට සීමා කිරීමට තීරණය කර ඇත.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල් වල අද (01) දින පෙරවරු 6.30 සිට වැඩවරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා සෞඛ්‍ය ආයතන සහ රෝහල් 20 ඉදිරිපිට දහවල් 12 සිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇත.

අද (01) දින තුළදී මෙම ගැටලුවට මුදල් අමාත්‍යාංශය ස්ථීරසාර විසඳුමක් ලබා නොදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අප්‍රේල් 02 උදෑසන 6.30 සිට අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට මේ වන විට තීරණය කර ඇත. මෙම වැඩ වර්ජනය තුළදී මුල් අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරන අතර සියලු පිළිකා රෝහල්, මාතෘ සහ ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව, වකුගඩු රෝහල් මුල් අවස්ථාවේදී වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගී නොවූවත් කඩිනමෙන් ප්‍රතිචාර ලබා නොදෙන්නේ නම් එම ආයතන පිළිබඳවත් තීරණයක් ගැනීමට සිදුවන බව දැනුම් දෙයි.

එම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලේ සියලු සේවාවන් , පරිපූරක වෛද්‍ය සේවාවේ රසායනාගාර පරීක්ෂණ සේවාවන්, CT පරීක්ෂණ, MRI පරීක්ෂණ ඇතුළු සියලු විකිරණ පරීක්ෂණ සේවා, ඖෂධ බෙදා හැරීම සහ නිකුත් කිරීම ආදී සේවාවන් මෙන්ම අතුරු වෛද්‍ය සේවාව මගින් සිදුකරන රෝග  නිරෝධායන සහ මාතෘ සහ ළමා  සායන වැඩ කටයුතු අඩාල වේ. එසේම සියලු ගෙවල් රථ සේවා අඩාල වන අතර, ඉංජිනේරු සේවාවන් සියල්ල අඩාල වීම , සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාවන් , සෞඛ්‍ය කාර්ය සහායක සේවාවන් අඩාල වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවේ සියලු පද්ධති බිඳ වැටීමක් සිදුවේ.