නිර්පාක්ෂික අරගලයට 18 වන විසඳුම් නැතිනම් අඛන්ඩ වර්ජනයක් ?

ravi-kumudesh-truth-zone

ජනාධිපතිවරයා, ආණ්ඩුව මෙන්ම විපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් කිසිවෙකු හෝ ජන අරගලයට ගෞරව කර ඇති බවක් පෙනෙන්නට නොමැති බවත්, රටේ මහ ජනතාව පක්ෂ විපක්ෂ භේදයකින්, ආගම් හෝ වයස් බේදයකින් තොරව පාරට බැස ඇති අතර, එය ශ්‍රී ලංකාව තුල සිදු වූ අතිශ්‍ය දැවන්තම, ආකර්ෂණීම අරගලය වන අතර, කිසිවෙකුට හෝ දොසක් පෙන්වීමට නොහැකි තරමින් හික්මවූ විනීත අරගලයක් බව සත්‍යයේ අවකාශය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවකදී රවී කුමුදේස් මහතා පවසා සිටී.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව තවම එම අරගලයේ පණිවිඩය තේරුම් කරගෙන ඇති බවක් පෙනෙන්නට නෑ.

රටේ මහජනතාවගේ විශ්වාසය මේසා විශාලව පළුදු කරගත් ආණ්ඩුවකට, වත්මන් මුල්‍ය අර්බුදයට විසදුම් සෙවීම කිසිසේත් කල නොහැකියි. අවම තරමින් ජාත්‍යන්තර සහයෝගය ලබා ගනිමින් විසදුමකට අවතීර්ණ වීමට, රට තුල විශ්වසනීය පෞරුෂයක් පවතින පාලනයක් තිබිය යුතුයි. වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව අවසාන මොහොතේදී හෝ ජනතාවට අවනත වන්නේ නම්, දැන් කිරීමට ඉතිරිව ඇති එකම කාර්ය එවන් විශ්වසනීයන් පාලනයකට අවශ්‍ය ඉඩ ලබා දී, සත් භාවයෙන් ඉවත් වීමයි.

එසේම ජන අරගලය දෙස බලමින් තමන්ගේ සාක්කුවට බලය වැටෙනතුරු කට ඇරගෙන බලාගෙන සිටින විපක්ෂය සහ එහෙටත් නැති මෙහෙටත් නැති මන්ත්‍රීවරුන්ටද, තම තමන්ගේ සළු පිළි උනා දමා, ගැටළුවට සාමූහික පිළිතුරක් සෙවීමේ වගකීමක් ඇත. ජනතාව පාරේ අරගල කරන විට, ඔවුන්ගේ අපේක්ෂාව ව්‍යවස්ථාණුකූලව සිදු කිරීමේ වගකීම පැවරෙන්නේ විපක්ෂයට බව මතක තබා ගත යුතුය. නමුත් මෙතෙක් ඔවුනොවුන්ගේ ගොඩවල් දෙස බලනවා හැරුණු කොට, ආණ්ඩුවට වඩා වගකීමක් විපක්ෂ සහ නපුන්සක මන්ත්‍රීලාගෙන්ද දක්නට නැත.

එබැවින් වහාම ජන අරගලයට වගකිවයුතු ලෙස මැදිහත් වන ලෙස අපි ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද බල කර සිටිමු.

අප්‍රේල් 18 වනදා තෙක් මේ සදහා සාධාරණ මැදිහත් වීමක් නොලැබුණහොත්, අඛණ්ඩ වර්ජනයක් වෙත අවතීරණ වෙමින් ජන අරගය ඉදිරියට ගෙනයෑමට සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව තීරණය කර ඇති බවත් රවි කුමුදේස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.