අභ්‍යාසලාභී/ඩිප්ලෝමාධාරීන්ගේ ගැටළුවලට ජනවාරි 20ට පෙර විසඳුම්

අභ්‍යාසලාභී/ඩිප්ලෝමාධාරීන්ගේ ගැටළුවලට ජනවාරි 20ට පෙර විසඳුම්
අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම හා නව සේවා ස්ථානගත කිරීමට අදාළ මෙතෙක් නොවිසඳුණු ගැටළුවලට ජනවාරි 20ට පෙර විසඳුම් අවශ්‍යයි බව සඳහන් කරමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.
 

11

 
අදාළ සම්පූර්ණ ලිපිය පහතින්...
 
2022.01.13
 ලේකම්,
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය,
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්,
ඒකාබද්ධ සේවා අංශය.
 
ලේකම් තුමනි/ අධ්‍යක්ෂ ජනරාල්තුමනි,
 
අභ්‍යාසලාභී උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර කිරීම හා නව සේවා ස්ථානගත කිරීමට අදාළ මෙතෙක් නොවිසඳුණු ගැටළුවලට ජනවාරි 20ට පෙර විසඳුම් අවශ්‍යයි.
 
2020 රැකියා විරහිත උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩ සටහන යටතේ 2020.09.02 පිරිස 2022.01.03 දිනට ස්ථීර කිරීම, 2021 පෙබරවාරි හා මාර්තු පිරිස ස්ථීර සේවා ස්ථාන වෙත 2022.01.03 සිට යොමු කිරීම සඳහාත් අදාළ කටයුතු සිදු කරමින් පවතී. නමුත් මේ දක්වාත් (ජනවාරි 13) ස්ථීර පත්විම් ලැබීම හා ස්ථානගත කිරීමට අදාළව ගැටළු පවතින අතර එම ගැටළුවලට මුහුණ දී සිටින පිරිස් දැඩි මානසික පීඩනයකට හා අපහසුතාවයකට පත්ව ඇති බව දැඩිව අවධාරණය කරමු.
 
මේ ප‍්‍රශ්නවලට මුහුණ දි සිටින පිරිස 2020 මාර්තු සිට පීඩාවන්ට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දෙන්නෙමු. 2020 මාර්තු මාසයේ දී පුහුණුවට නොතේරීම, තෝරාගත් අයගේ පුහුණුව කල් දැමීම, 2020 අගෝස්තු සිට නව ලේඛනයක් මඟින් පිරිස් කප්පාදු වීම, යළි තෝරා ගැනීම, දැඩි අපහසුතා හා පීඩනයක් දී හමුදා මධ්‍යස්ථානවල පුහුණුව සඳහා යෙදවීම, යළි ආයතනගත කිරීම, රැකියාගත කිරීම මාර්ගගත ක‍්‍රමයට ගනු ලබන තොරතුරුවලින් පමණක් ක‍්‍රියාත්මක වන බව සඳහන් කිරීම, යළි ආයතන ප‍්‍රධානීන් මඟින් තොරතුරු ගැනීම මේ ආදී විවිධ ක‍්‍රියාමාර්ග හරහා ගත වී ඇති කාල සීමාව මාස 22 කි.
 

තවත් පුවත් මෙතැනින් කියවන්න...
පසුගිය දිනවල Covid-19 තත්වය යටතේ පැවති තත්වය නොසලකා හැරිය නොහැකි වුවද එම තත්වය යටතේත් මේ ක‍්‍රියාදාමය දියත් වූ අතර අදාළ ගැටළුවලට මුහුණ දෙන සියළු දෙනා දැඩි පීඩනයක සිටින බව කිවයුතු අතර පහත සඳහන් ගැටළුවලට 2022 ජනවාරි 20 වලට පැහැදිලි නිශ්චිත ප‍්‍රායෝගික විසඳුමක් අවශ්‍ය බව ඉතා වගකීමෙන් සඳහන් කරමු.
 
1) 2022.01.13 දින වනවිටත් Misco පද්ධතියට ඇතුල්වීමට නොහැකි වන සැලකිය යුතු පිරිසක් සිටීම.
2) HNDA ඩිප්ලෝමාධාරීන් බොහෝ පිරිසකගේ නම් නොමැති බවත් Misco පද්ධතියට ඇතුල් වීමට නොහැකි බවත් වාර්තා වී තිබීම හා ඔවුන්ද කඩිනමින් රැකියාගත කිරීම.
3) ඇතැමුන්ට අදාළ පද්ධතියට ඇතුල්වීමට හැකි වුවද සේවා ස්ථානයක් සඳහන් නොවීම.
4) Misco පද්ධතියේ තොරතුරු සම්පූර්ණ වුවද නමුත් අදාළ ස්ථානයට ගිය පසු අදාළ ස්ථානයේ පත්වීම් ලිපියක් නොතිබීම.
5) එකම ජාතික පාසලේ පුහුණුවෙන පිරිසකගේ නම් තිබීම හා කිහිප දෙනෙකුගේ නම් නොමැති වීම. ඒ අනුව ඉසුරුපාය මඟින් කැඳවීම් කරනුයේ ඔවුන්ට ලැබී ඇති නම් සඳහන් අය පමණි.
6) වත්මන් ආණ්ඩුව නම් කර ඇති නව ජාතික පාසල්වල පුහුණුවුණු පිරිසගේ නම් ඉසුරුපාය යටතේ හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේත් නොමැති වීම.
7) පළාත් සභා ලේඛන කිහිපයේම නම් නොමැති පිරිස් සිටීම.
2020 සැප්. 02 දිනය සහිත ඇතැම් අයට ස්ථීර පත්වීම් නොලැබීම හා ඇතැමුන්ගේ පුහුණුව අවසන් දිනය 2022.09.02 ලෙස සඳහන් වී තිබීම.
9) ස්ථීර කිරීමේ දී උපරිම දිස්ත‍්‍රික් පදනම සලකන බව දිගින් දිගටම අවධාරණය කළ ද අදාළ දෙපාර්තමේන්තු එම කරුණ අදාළ කර නොගෙන ස්ථානගත කිරීම.
උදා:- බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් පිරිසක් මැහුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇති අතර එම පිරිස කොළඹ ප‍්‍රධාන කාර්යාලයට යළි අනුයුක්ත කිරීම, පශු සම්පත් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළුතර පිරිසක් අනුරාධපුර සීපුකුලම ආදී ප‍්‍රදේශ වලට යෙදවීම.
10) 2020.09.02 අභ්‍යාසලාභීන්ගේ නම් 2022.04.01ට අයත් නාම ලේඛනයේ ඇතුළත්ව ඇති බව වාර්තා වීම.
11) කිසිඳු ලේඛනයක මෙතෙක් නම සඳහන්ව නොතිබීම.
12) ජාතික හැඳුනුම්පත් අංක වැරදි බව තොරතුරු පද්ධතිය මඟින් පෙන්වීම.
13) මීට පෙර පද්ධතිය පරීක්ෂා කිරීමේ දී Work Place සඳහන්ව තිබූ අතර යළි පරීක්ෂා කිරීමේ දී Work Place සඳහන් නොවීම වාර්තා වේ.
14) සබරගමු පළාත් පාසල් අභ්‍යාසලාභීන්ගේ නම් දකුණු පළාත් සභා ලේඛනවල ඇතුළත්ව තිබීම හා දකුණු පළාත් නොවන නිසා සබරගමු පළාත් එම පිරිස අතරමංව සිටීම.
15) පත්වීම් ප‍්‍රමාදවන අයගේ ජනවාරි වැටුප හා දීමනා පිළිබඳ පැහැදිලි කිරීමක අවශ්‍යතාවය.
අප වෘත්තීය සමිතිය වෙත ඉතා විශාල ගැටළු දෛනිකව වාර්තාවන අතර එම ගැටළු කාණ්ඩකර ඉහතින් දක්වා ඇත. එම ගැටළු හා දැනට අමාත්‍යාංශය වෙත වාර්තා වී ඇති සියළු ගැටළු ආවරණය වන පරිදි 2022 ජනවාරි 20 දිනට පෙර විසඳුමක් අවශ්‍ය බව දන්වා සිටිමු.
අදාළ අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ හා ඩිප්ලෝමාධාරීන්ගේ පීඩනය හා ව්‍යාකූලතාවය අදාළ අංශ තේරුම්ගත යුතුව ඇත. එම නිසා එම ගැටළු නිරාකරණය වන පරිදි හා අදාළ ගැටළු ආවරණය වන පරිදි යෝජිත විකල්ප විසඳුම් ක‍්‍රියාත්මක විය යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දෙන්නෙමු.
 
ස්තූතියි.
 
මෙයට,
චන්දන සූරියආරච්චි

ප‍්‍රධාන ලේකම්