නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජකාරි අරඹයි

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු මෙලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් විය.

සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු වැඩ බාරගැනීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් බාරදෙන ලදි.

සිය ධූරයේ රාජකාරී කටයුතු ඇරඹීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා – “කොවිඩ් -19 වසංගත තත්ත්වයක් මේ වනවිට ලොව පුරා තිබෙනවා. අප රටෙන් ද නව පොකුරු වාර්තා වුනා. සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදා එක්ව එම තත්ත්වය පාලනය සදහා කටයුතු කරනවා. සමහර ප්‍රදේශවල නිරෝධායන ඇදිරිනීති සහ සංචරණ සීමා පනවා තිබෙනවා. ජනතාව ප්‍රධාන මාර්ග වල සංචරණය සීමා කළත් අතුරු මාර්ගවල සංචරණ සිදුවන බව වාර්තා වනවා. ජනතාව ලබාදෙන සහයෝගය මත ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කළ හැකියි. මෙම කටයුතු සදහා ජනතාවගේ සහයෝගය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා.”

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබද උපාධියත්, කොළඹ පශ්චාත් වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරිපාලනය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධියත්, කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබද ඩිප්ලෝමා උපාධිය සහ ශ්‍රාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. 1994 වර්ෂයේ දී මොණරාගල බඩල්කුඹුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙසත්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරී ලෙසත් සේවය කොට ඇත. 2001 වසරේ සිට 2003 වසර දක්වා කාලය තුල මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා හොරණ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙසත්, මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.

වැඩබිම