ගරු කටයුතු මහත්තුරුණි, අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්තරණයක් අවශ්‍යයි

ගරු කටයුතු මහත්තුරුණි, අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්තරණයක් අවශ්‍යයි

“මැතිවරණ ප්‍රේමය” සහ “20 අපේ අපි වෙනුවෙන් අපි” නාට්‍ය දෙකම අවසන් වූයේ මුළුමහත් නාට්‍යයලෝලි රසික හදවත් හිරි වැටී කොරෝනා නම් මාරයා නැවත වරක් අපේ ගෙළ සිරකිරීම පවා නොදැනුණු වෙලාවකය. නමුත් හිරි ඇරෙනකොට අපි වෙනුවෙන් අපිම විතරක් ඉතිරිව ඇත. වේදිකා මස්තකයේ හැමදාමත් මොරදෙන නළුවෝ විසිර ගොස් සිටින්නේ ඔවුන්ගේ හැම නාට්ටියක් අවසානයේ වගේම පහළ බඩට නොකා විසිල් ගහපු අසරණ රසිකයාට සත පහකට මායිම් නොකරය.

ලංකාවේ ශ්රම බලකායෙන් සාතිශ්ය බහුතරයක් අවිධිමත් අංශයේ කම්කරුවන්ය. ඔවුන් මොවුන්ගෙන් බහුතරයක් දෛනික වැටුප් කම්කරුවන්ය. ඒ හැම මැතිවරණ අසීමිත ආදරයක් ලබන්නන්ය. එසේත් නොමැතිනම් එදා වේල හම්බකරන මිනිස්සු ලෙසද හැඳින්විය හැකිය. රට තුළ ව්යාප්තවෙමින් පවතින සහ ව්‍යාප්තව ඇති COVID19 වසංගතය හේතුවෙන් රට තුළ සමස්ත ජන ජීවිතය අඩාල වී ඇති ආකාරයක් දක්නට ලැබේ. මෙම වසන්ගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගත් පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා ඇති අතර එය විවිධ ස්වරූපයෙන් ක්රියාත්මක වෙමින් පවතියි. මෙවන් තත්වයක් තුළ රටේ පෞද්ගලික සහ රාජ්ය අංශයේ කම්කරුවන් යම් කිසි ගැටලු කාරී තත්ත්වයන් යටතේ වුවද මාසික වැටුප් ලබමින් තම එදිනෙදා කටයුතු නිවසේ සිට සිදු කරමින් සිටී. සමාජ ව්‍යාප්තියක් නොමැති පුදුමාකාර පොකුරු වලින් වසංගතය පැතිරෙමින් පවතින බව ගරුකටයුතු ලොකුමහත්තුරුන්ගේ අදහසයි. මෙම පොකුරු මිලාධික මල්පොකුරු බවට පත්ව ඒ මල්පොකුරු ජාවාරමක් ලෙස සිද්ධවෙන බවකුත් ආරංචිමාර්ග පවසයි. කෙසේ නමුත් ඇඟලුම් කර්මාන්තශාලා සහ ආයෝජන කලාප වල සහෝදර කම්කරුවන් දැඩි අර්බුධයකට මුහුණ පා ඇත්තේ ආහාර හා සෞඛ්‍ය පහසුකම් ඇතුළු ගැටළු ගණනාවකින් හෙම්බත්ව සිටින නිසාවෙනි. ඒ අතර තුර මාධ්‍ය මගින් පළ වුණේ හැමදාමත් මෙන් ඇසෙන දෙබසකි. එනම් “මිනිස්සුන්ගේ වැරැද්ද, හරියට පරිස්සම් වුණානම් මෙහම වෙන් නැහැ” යනුවෙනි. කෙසේ නමුත් ආදරණිය සහෝදර කම්කරු සගයනි. අපි හැමදාම අමතක කරන කරුණක් ඇත. එනම් ඔබද ඩොලර් ගේන විට වීරයෙක්. නමුත් ඔබව වීරයෙක් සහ දේශද්‍රෝහියෙක්, වසංගතය පතුරන්නෙකු ලෙස නම් කිරීමේ අයිතිය අපට හිමි නැත. එය ඇත්තේ වෙන තැනකය. රට විරුවන්ද මිනිස් බෝම්බ ලෙස නම්කළ රටක් අපට ඇත.

රජය ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුවම ඔවුන්ව පත් කළ කම්කරුවන් කෙරෙහිද යොමු කළ යුතුයි. රට තුළ නැවත වරක් සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන වසන්ගත තත්ත්වයත් පසුව බලපවත්වන ලද ඇඳිරිනීතියත් නිසා අවිධිමත් අංශයේ රැකියා කරන කම්කරුවන්ගේ රැකියා අහිමි වී ඇත. ඒ අතර ගෘහ සේවකයින්, වෙළඳ සහයකයින්, විදි වෙළෙන්දන්, බර ඔසවන්නන් (නාටාමි), ස්ථිර පදනමක් නොමැතිව සේවය ඇඟලුම් කම්කරුවන්, ලොතරැයි අලෙවි කරන්නන්, ඉදිකිරීම් කම්කරුවන්, ධිවරයින්, පෙරපාසල් ගුරුවරුන්, කුලී රථ රියදුරන්, පිරිසිදු කරන්නන් යනාදී බොහෝ අවිධිමත් අංශ වල රැකියා කරන කම්කරුවන් මෙම වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳියි.

රැකියා අහිමි වීමත් සමග ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන් බොහෝ දෙනා දෛනික වැටුප් කම්කරුවන් නිසා නැවත රැකියා සිදු කළ හැකි වාතාවරණයක්ද ඉදිරියේදී අවිනිශ්චිතය.

පසුගියදා කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් පසුව බස්නාහිර පළාතටම බලපවත්වීමට රජය තීරණය කිරීමත් සමග පසුගිය මාර්තු මාසයෙන් පසුව මුහුණදුන් අර්බුධයන්ට නැවත මෙම කම්කරුවන්ට මුහුණ දීමට සිදුව ඇත. ජීවිකාව අහිමිවීම තුළ අත්‍යාවශ්‍ය අහාර පාන, ඖෂධ, සමීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු සියලු අවශ්‍යතා අහිමිවීමත් ඒ හේතුවෙන් බිඳ වැටුණු සාමාන්‍යය ජන ජීවිතය යතා තත්ත්වයට පත් වීමටත් පෙර නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වීම ඛේදනීය තත්ත්වයකි.

රාජගිරිය, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොලොන්නාව,මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල ප්‍රොටෙක්ට් සංගමයේ ගෘහ සේවක සහෝදරියන් සඳහන් කළේ ඔවුන් බොහෝ දෙනෙකුට නැවත දැනුම් දෙන තුරු රැකියාවට නොපැමිණෙන ලෙසට ඔවුන්ගේ හාම්පුතුන් විසින් දැනුම් දුන් බවයි. පිට පළාත් වලින් පැමිණ කොළඹ ප්‍රදේශයේ නැවතී සේවයකරන ගෘහ සේවක කම්කරුවන් ද විවිධ ගැටළු වලට මුහුණ දෙමින් සිටී. ඔවුන් නැවතී සේවය කරන පිරිසක් බැවින් ඔවුන්ගේ වැටුප සම්බන්ධව නිතර නිතර පැමිණිළි ලැබෙන අතර ඔවුන් වසංගතය හෙතුවෙන් නිවෙස් වලට යමට උත්සාහ කිරිමෙදී වැටුපෙන් කොටසක් පමණක් ලබා දෙන බවටද පැමිණිළි ලැබේ. නැවත නිවෙස් වලට ගිය කම්කරුවන්ට ලැබුණු සොච්චම් වැටුප තව නොදන්නා දීර්ග කාලයක් ජීවත්වීමට ලැබුණු අවසන් වැටුප විය හැකිය. මන්ද පසු ගිය කොරෝනා වසංගතය තුළ රැකියා අහිමි වූ ගෘහ සේවක කම්කරුවන් 50%කට පමණ දෙවන රැල්ල එන විටද රැකියා ලැබී තිබුණේ නැත.

නාට්ටාමි රැකියාවේ නිරත කම්කරුවකු පැවසුවේ කොළඹ වසා දැමීමත් සමග ඔවුන්ගේ දෛනික ආදායම නතර වූ බවය.රජය විසින් මෙම රැකියා අහිමි වූ අවිධිමත් කම්කරුවන් වෙනුවෙන් පසුගිය වසංගත තත්ත්වය තුළදී ද කිසිදු ආකාරයක නිශ්චිත වැඩපිළිවෙලක් සකස් නොකළ බව එම කම්කරුවන් පවසයි. ඒ තුළ දරා ගත නොහැකි ණය කන්දරාවකින් හෙම්බත් වී සිටින අතර නැවත ඇති වී ඇති මේ තත්ත්වය තුළ දරුවන් සමග සියදිවි නසා ගැනීම හැර වෙන කළ හැකි දෙයක් නොමැති බව ඔවුන් පවසයි. තවත් සමහරෙක් පැවසුවේ 5000ක් මාස 3ක් කන්න ඇතිනම් අපි මෙහෙම අව් කාෂ්ටකේ දඟලන්න ඕනද යනුවෙනි. නමුත් 2500න් මාසයක් ජිවත් වෙන්න ප්‍රමාණවත් කියපු ඇමති හමුවී මේ ප්‍රශ්නයට උත්තරක් ලබා ගත හැකි බව තවත් අයෙකු කිවේය.

හැටන් ප්‍රදේශයේ අවිධ්මත් අංශයේ කම්කරුවන්ගේ තත්ත්වය මීට දෙවැනි නැත. හැටන් ශාඛාවේ සාමාජිකයින් සඳහන් කරන්නේ පෙර ඇති වූ වසන්ගත් තත්ත්වය නිසා ඇති වූ ප්‍රශ්නවලට නැවතවරක් ඉහිලිය නොහැකි තත්ත්වයේ ප්‍රශ්න කන්දක් කඩා වැටි ඇති බවයි. කලින් රජය ලබා දුන් සහනාධාරයද නිසි ලෙස ලැබුණ නැතිබව සඳහන් කල ලොතරැයි අලෙවි කරන කම්කරුවෙකු පැවසූවේ මෙවර එම සහනාධාරය නිරෝධායනය වන අයට පමණක් ලබා දීමට යන බවයි.

ගෘහ සේවිකාවක පැවසුවේ දවසට රු 300ත් 500ත් අතර හම්බ කරපු ඇය මේ වන විට කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වී සිටින බවයි. කලින් වසංගතය අවස්ථාවේ ජීවත්වෙන්න ගත්තු ණය තවමත් ගෙවා අවසන් නැති අතර නැවත ණයක් හෝ ගැනීමට කිසිවකුත් ඉතිරි වී නැති බවය. හෙට දවස ගත කරන්නේ කෙසේද කියා හිතෙද්දී සහ ළමයින් බඩගින්නේ සිටින විට උහුලාගත නොහැකි වේදනාවක් දැනෙන බව පවසන ඇය පවසන්නේ රජය විසින් ඔවුන්ට සහනයක් සැලසිය යුතු බවයි.

කොළඹ අවට ඇඟලුම් කර්මාන්ත සේවකයින් පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත. ඔවුන් දැඩි ලෙස ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බව සැබෑය. ඒ වෙනුවෙන් රජය පැහැදිළි වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියා කරන ආකාරයක්ද දක්නට නැත. නමුත් අපට නිතරම මුණ ගැසෙන නමුත් අපට ගැටළු නොපෙනෙන කම්කරු ප්‍රජාවක් ඇත. ඒ අවිධිමත් අංශයේ කම්කරුවන්ය. මේ රටේ කම්කරැ ප්‍රජාවගේ සාතිශය බහුතරය ඔවුන්ය. ඔවුන්ද මේ ආර්ථිකයට දායක වන කම්කරුවන්ය. නමුත් ඔවුන්ව කිසිවකුගේ අවධානයට ලක් නොවීම කණගාටුවට කරුණකි.

ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට රජය මැතිවරණ, ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුවම ඔවුන්ව පත් කළ දුප්පත් මිනිසුන් කෙරෙහිද යොමු කරන ලෙසත් වසන්ගත තත්ත්වය තවදුරත් උග්‍ර වීමට පෙර අවිධිමත් කම්කරුවන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසය. එය සහනාධාර ලබා දීම වැනි පැලැස්තර විසඳුම් වලට එහා ගිය වැඩපිළිවෙලක් විය යුතුය. එවන් වැඩපිළිවෙලක් සකසා ගැනීම උදෙසා අපට සහයෝගය දිය හැකිය. එවැනි වැඩපිළිවෙලක් තුල රජය විසින් සහනාධාර දීමට අවශ්‍ය නොවනු ඇත.

ගරු කටයුතු මහත්තුරුණි. ඔබලාගේ රංග ප්‍රතිභාවෙන් කුල්මත්ව සිටි ප්‍රේක්ෂක ජනතාවට වේදනාව දැනෙමින් ඇත. ඔවුන් ඔබ කෙරේ තැබූ විශ්වාසය ආරක්ෂා කිරීමට ප්‍රමාද නොවන්න.

සටහන – කල්ප මධුරංග

ප්‍රොටෙක්ට් සංගමය

චායාරූප – විදුමිණ ඉහළගෙදර