කොරෝනා වසංගතය තුළ සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)ගේ උත්සවයකට පාසල් ළමුන් අරන්

කොරෝනා වසංගතය තුළ සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)ගේ උත්සවයකට පාසල් ළමුන් අරන්

 සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) පාසල් ළමුන් තම දේශපාලන ප‍්‍රචාරයට යොදවා ගැනීම පිළිබඳ වහා පරීක්ෂණයක් කළ යුතු බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිළ ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කොට ඇත. පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයින්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. එසේම කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකොට සිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලෙස පත්වීමෙන් පසු ඇපමත මුදාහැර සිටින පිල්ලෙයාන් විසින් තම පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම බරපතල තත්ත්වයකි.

ඝාතන චෝදනා ලද මෙම මන්තී‍්‍රවරයා වසංගත අවදානමක් සහිත තත්ත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම ලංකා ගුරු සංගමය දැඩිව හෙළා දකී. මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිය යුතු බව ද ලංකා ගුරු සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය සදුදා දින (2020.12.07) පිල්ලෙයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති දිස්ති‍්‍රක් සංවර්ධන රැස්වීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර සිටියේ පිල්ලෙයාන් මහතා නැගෙනහිර පළාතේ අධ්‍යාපනය සංවර්ධනයට විශාල දායකත්වයක් කර ඇති බවයි. නමුත් 2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී මඩකලපු දිස්ති‍්‍රක්කය දිස්ති‍්‍රක්ක අතරින් 23 වෙනි ස්ථානයට පත්ව ඇත. නැගෙනහිර පළාත් අධ්‍යාපන පද්ධතිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම තුළ එහි අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇත. අවිධිමත් පත්වීම්, මාරු කිරීම් ඇතුළු විවිධ පලිගැනීම් කි‍්‍රයාවලින් පිරි අධ්‍යාපනයක් එහි කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙවැනි පිළිගැනීම් උත්සවලට මේ ආකාරයෙන් පාසල් ළමුන් සහභාගි කිරීමෙන් පෙන්නුම් වන්නේ පවතින යථාර්ථයයි.