පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය රාජ්‍ය සේවකයා රවටන ආණ්ඩුවේ ප්‍රෝඩාවක් - දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය රාජ්‍ය සේවකයා රවටන ආණ්ඩුවේ ප්‍රෝඩාවක් - දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

නත්තල් සහ නව වසර උදාවත් සමග එලඹෙන උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා බැංකු මගින් ගෙවීමට නියමිත, පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය මගින් ආණ්ඩුව තවත් වටයකින් රාජ්‍ය සේවකයා රැවටීමට ලක්කර ඇත.

22/2020 හා 2020. 12. 16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව 50000/= ක හෝ ඊට වැඩි වැටුප් ලබන සේවකයින් සඳහා රු. 50000/= ක් ද, 25000/= සිට 50000/= දක්වා මාසික වැටුප් ලබන සේවකයින්ට 25000/= ක් සහ 25000/= ට අඩු මාසික වැටුප් ලබන සේවකයින්ට 10000/= ක් වශයෙන් ණය ලබාගත හැකිය. ඒ සඳහා 0.625% ක පොලියක් අය කරන අතර, ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද ලේඛනයක් බැංකුව වෙත යැවීමෙන් ණය මුදල ලබා ගත හැකි බවත්, එසේ ලබාදෙන ණය මුදල 2021 වර්ෂයේ සිට මාසික වාරික 10 කින් අයකර කටයුතු කරන බවත් සඳහන් වේ.

චක‍්‍රලේඛයේ එසේ සඳහන් කර ඇතත්, බැංකුව, ණය ලබාදෙන ක්‍රමවේදයට අනුව සකසන ලද අයදුම් පත්‍රයක් පිරවීමටත්, මාසික වැටුපෙන් කොටසක් බැංකුවට එවන බවට තහවුරු ලිපියක්, ණය මුදල ගෙවීමට අයදුම්කරුට හැකියාව තිබෙන බවට තහවුරු ලිපියක්, වැටුප් විස්තරයක්, සහතික කරන ලද වැටුප් පත්‍රිකාවක්, දිවුරුම් ප්‍රකාශයක් හා ඇප කරුවන් ඉදිරිපත් කිරීමට සේවකයින්ට සිදුවී ඇත. මාසික පොලිය 0.625% ලෙස සඳහන් වුවද, සාමාන්‍ය වාර්ෂික පොලිය7.5% කි. ඒ අනුව 50000/= ට 3125/= ක් ද, 25000/= කට 1562.50 ක් ද 10000/= කට 625/= ක් ද පොලිය ගෙවීමට රාජ්‍ය සේවකයින්ට සිදුවී ඇත. එමෙන්ම කොරෝනා කාලසීමාව තුල ගෙවීමට අපහසු වූ බැංකුවට අයවිය යුතු යම් මුදලක් වෙතොත් එයද මෙම ණය මුදලින් අඩුකර ගැනීමට බැංකුව කටයුතු කර ඇත.

පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන්නේ මෙතෙක් රාජ්‍ය සේවකයා බුක්තිවිඳි උත්සව අත්තිකාරම් ලබා ගැනීමේ අයිතිය කප්පාදු කරමිණි. කිසිදු අපහසුතාවයකින් හා පොලියකින් තොරව රු. 10000/= ක උත්සව අත්තිකාරමක් ලබා ගැනීමට රාජ්‍ය සේවකයාට හැකියාව තිබුණි. එම අයිතිය අහිමිකර, මෙම යෝජනා ක්‍රමය මගින් ආණ්ඩුව රාජ්‍ය සේවකයා තව දුරටත් ණයකාරයෙකු බවට පත්කර ඇත.

කොරෝනා වෛරස් තත්වය නිසා අතිකාල ඇතුළු අමතර ලැබීම් සියල්ල අහිමි වූ රාජ්‍ය සේවකයා, මෙම යෝජනා ක්‍රමය මගින් කබලෙන් ලිපටම තල්ලූකර ඇත. මේ අනුව ආණ්ඩුව 22/2020 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් පරිපූරක උත්සව ණය යෝජනා ක්‍රමය හරහා තවත් වටයකින් රාජ්‍ය සේවකයා රැවටීමට ලක්කර ඇති ප්‍රෝඩවක් වන බවත් අවධාරණය කර සිටිමු.