කම්කරු දෙපාර්තමේන්තුවේත් කොවිඩ් අවදානමක්- කොමසාරිස් ජනරාල්ට චෝදනා

  කම්කරු දෙපාර්තමේන්තුවේත් කොවිඩ් අවදානමක්- කොමසාරිස් ජනරාල්ට චෝදනා
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, ප්‍රධාන අංශ තුනක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු  කොරෝනා ආසාදිත තත්ත්වයට ගොදුරු වී තිබෙන බවත් වාර්තා වේ.
 
මේ වන විට ආයතන අංශයේ නිලධාරීන් 40ට පමණ පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බවත්, එයින් නිලධාරීන් 4ක් කොවිඩ් පොසිටිව් වී ඇති බවත්, එසේ පීසීආර් කරනු ලැබූ මෙතෙක් වාර්තා නොලැබුණු සංඛ්‍යාවක්ද පවතින බැවින් පොසිටිව් වන ප්‍රමාණය ඉහළ යා හැකි බවත් වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු වැඩබිමට සඳහන් කළේය.
 
බටහිර කම්කරු කොළඹ කාර්යාලයේ රියදුරු මහතා කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්, එහි කාර්ය මණ්ඩලය දැඩි අවදානමක පවතින බවත්, එසේ තිබියදී එම අංශය වත් වසා දමන්නට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ක්‍රියා කර නොමැති බව හෙතෙම පෙන්වාදෙයි.
 
 
මීට අමතරව 8 වෙනි මහලේ ගෙවීම් අංශයේ කොරෝනා ආසාදිත කාර්යාල කාර්ය සහායකයෙකු සිටින බවත්, එහි නිලධාරීන් මේවන විට අවශ්‍ය ප්‍රතිකාර සහ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති නමුත් දෙපාර්තමේන්තුවේ සෙසු කාර්ය මණ්ඩලය සුපුරුදු ලෙස රාජකාරි කටයුතු සඳහා පැමිණෙන බව සඳහන්ය.
 
නිලධාරීන් හා කාර්ය මණ්ඩලය කොරෝනා අවදානමකට ඇද දමා , සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් සිදුනොකරන තත්ත්වයක් දක්නට ඇති බවත්, කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට  අවශ්‍ය වන්නේ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද මෙම කම්කරු දෙපාර්තමේන්තුව වසා දමා නොමැති බව පෙන්වාදෙමින් ලකුණු දමා ගැනීමට බවත්, මීට ප්‍රථම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිට රජයේ මුදල් නාස්ති කිරීමෙන්  අසාදු ලේඛනයට නම ඇතුළත් වූ පුද්ගලයෙකු බැවින් මෙම අවස්ථාවේ හෝ ලකුණු දමා ගැනීම පිණිස ඔහු විසින් සේවක සේවිකාවන් බිල්ලට දී ඇති බවට වෘත්තීය සමිති ක්‍රියාධරයා චෝදනා කළේය.
 
සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනයාට අත්සේදීම සඳහා අනෙකුත් පහසුකම් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත්, ආරක්ෂක අංශයද මේ පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක නොවන බවත්, මීට පෙරාතුව ආරක්ෂක අංශයේ නිලධාරීන් මුලින්ම කොවිඩ් පොසිටිව් වූ පසු ඔවුන්ද ස්වකීය රාජකාරිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවත් කියැවෙයි.
 
 

කෙසේ වෙතත් කම්කරු  කොමසාරිස් ජනරාල්ගේ ක්‍රියා කලාපය නිසා නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනයාත් කොරෝනා අවදානමට ඇද දමා ඇති බව වෘත්තීය සමිති ක්‍රියාධරයා වැඩිදුරටත් කියා සිටියේය.