හෙද කාර්ය මණ්ඩලයේ ගැටළු විසඳාගැනීමට අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

හෙද කාර්ය මණ්ඩලයේ ගැටළු විසඳාගැනීමට අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසේ

කොරෝනා අවධානමට මුහුණ දී ඇති හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හා ඔවුන්ගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් අඛණඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොවිඩ් වසංගතය රට පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන තත්වයක ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණෙන රෝගීන් සමග සෘජුවම කටයුතු කරමින් ඔවුන්ගේ පරීක්ෂණ හා ප්‍රතිකාරවල නිරත හෙද කාර්ය මණ්ඩලය කොවිඩ් ආසාධනයෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල රෝහල් ගණනාවක නවතා දැමීම තුළ එම රෝහල් හි හෙද හෙදියන් වසංගතයේ ගොදුරු බවට පත්වෙමින් ඇත.

මතුවෙමින් ඇති අවධානම පිළිබඳ අවස්ථා කිහිපයක දී සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලූ රෝහල් බලධාරීන්ට අප ලිඛිතව දැණුම් දුන්නෙමු. හෙද කාර්ය මණ්ඩලය කොරෝනා අසාධිතයන්ට නිරාවරනයවීමේ අවධානමින් ආරක්ෂා කර ප්‍රශස්ථ ලෙස රෝගී සත්කාර සේවා ලබා දීම සදහා සෞඛ්‍ය ලේකම් විසින් 2020.10.22 දින නිකුත් කළ අති.ලේ.(පාලන) 2 10/2020 ලිපියේ උපදෙස් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස අප එමගින් ඉල්ලා සිට්න ලදි. එහෙත් සෞඛ්‍ය ලේකම්වරයා හෝ රෝහල් බලධාරීන් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැත.

එම තත්වය හමුවේ මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල ගල්ගමුව මූලික රෝහල ඇතුලූ රෝහල් ගණනාවක විශාල වශයෙන් කොරෝනා රෝගීන් හඳුනා ගනිමින් ඇත. එම රෝගීන්ට නිරාවරණයවීම නිසා හෙද හෙදියන් ඇතුලූ කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. තවද ආයතන ප්‍රධානීන් අවිද්‍යාත්මක ලෙස කාර්ය මණ්ඩලවල සියලූ දෙනා දෛනිකව සේවයට කැදවමින් තිබේ. කාර්ය මණ්ඩල සදහා ක්‍රියාත්මක කළ සේවා මුර ක්‍රමය නවතා දමා ඇත. පළාත් සභා රෝහල් තුළ හෙද හිගය හමුවේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් රාජකාරී ඉටුකළ හෙද හෙදියන්ගේ අමතර දීමනා කපා දමා ඇත.

එසේම කිසිඳු සුභසාධක පහසුකමක් හෝ අමතර ආර්ථික වාසියකින් තොරව කොවිඩ් වසංගතය හමුවේ. දුෂ්කර සේවාවක් ලබා දෙමින් සිටින හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා 2021.01.15 දින මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල සහ ගල්ගමුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගක නියැලෙන ලදි. එහෙත් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලූ බලධාරීන් නෑසු කන් ඇතිව කටයුතු කිරීම හෙද කාර්ය මණ්ඩලය කොවිඩ් අනතුරට ඇද දමමින් අසරණ රෝගීන් ද භයානක තත්වයකට ගෙන යාමක් බව අපගේ අදහසයි.

2021.01.15 දිනවන විට පේරාදෙණිය මහ රෝහලේ පමණක් වාට්ටු අංක 17, දැඩි සත්කාර ඒකකය සහ නොමේරූ ළදරු ඒකකය වසාදමා ඒවායේ සේවය කළ කාර්ය මණ්ඩලවල සිය ගණනක් නිරෝධායනයට ලක් කර ඇත. මේ තත්වය තුල නිසි ප්‍රතිකාර නොලැබීම නිසා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් දෙදෙනකු මියගොස් ඇති බවද වාර්ථා වේ. මහනුවර මහ රෝහලේ හෙදි නිළධාරීන් හතර දෙනෙකු ආසාධිතවීම හේතුවෙන් වාට්ටු අංක 31 වසා දමා ඇත.

රෝහල් බලධාරීණ්ගේ හිතුවක්කාරී ක්‍රියාකලාපයන් නිසා මතුවෙමින් ඇති මෙම තත්වය පාලනය කර හෙද කාර්ය මණ්ඩලයේත් රෝගීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ලේකම්වරයාගෙන් නැවතත් ඉල්ලා සිටිමු. 2021.01.18 දින වන විටද ඒ සඳහා ක්‍රියා නොකරන්නේනම් අකමැත්තෙක් වුවද මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය නැවත වරක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කර ඇත.

එම ක්‍රියාමාර්ගවලින් ද ගැටළුවට විසඳුම් ලබාදීමට බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් රට පුරා රෝහල්වල සියලූ හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යාමට කටයුතු කරන බව දන්වා සිටිමු.