විශ්‍රාම වැටුපට තට්ටු වූවන්ගේ පෙත්සම සලකා බැලීමට දින තීන්දුයි

විශ්‍රාම වැටුපට තට්ටු වූවන්ගේ පෙත්සම සලකා බැලීමට දින තීන්දුයි
තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් වර්ධක අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් දින  නියම කර තිබේ.
 
එම පෙත්සම ඊයේ (25) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ කැඳවනු ලැබීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
 
හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයෙකු වන කේ.ඒ තිලකරත්න මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණු බවත්, එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවත් අප වාර්තාකරු පවසයි.
 
පෙත්සම්කරුවන් කියා සිටියේ 2016.01.01 සහ 2019.12.31 දක්වා කාලසීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය ලබාදීම රජය විසින් අත්හිටුවා ඇති බවයි.
 

මේ තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් එබැවින් අදාළ විශ්‍රාම වැටුප් වර්ධක තමන්ට ගෙවන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අදාළ විශ්‍රාමික පිරිස විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.