කාර්මික ආරවුල් පනතට සංශෝධන

කාර්මික ආරවුල් පනතට සංශෝධන

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විනය විරෝධී හෝ විෂමාචාර ක්‍රියා මත වැඩ තහනම් කරනු ලැබූ අවස්ථාවක විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා මාස හයක් ඇතුළත අවසන් තීන්දුව ලබාදිය යුතු බවට නියෝග පැනවීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි. මූල්‍ය වංචාවක් නොවන අවස්ථාවක අඩ වැටුප් ගෙවීමට සේවා යෝජකයා නීතියෙන් බැඳෙන පරිදි සංශෝධන ඇතුළත් කිරීමටද නියමිතය.

විවිධ චෝදනාවලට ලක්වන පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා තීන්දුවක් ලබාදිය යුතු කාලසීමාවක් පනතේ දක්වා නොමැත. මේ හේතුවෙන් ඇතැම් සේවා යෝජකයන් සේවකයන් වැඩ තහනමට ලක්කර වැටුප් ගෙවීම අත්හිටුවා දීර්ඝ කාලයක් විනය නියෝග ලබා නොදෙති. එහෙයින් සේවකයෝ විවිධ ආර්ථික හා සමාජයීය දුෂ්කරතාවලට මුහුණපා සිටිති. ඉහත සංශෝධනය සිදුකරන්නේ ඒ පිළිබඳ සලකා බලමිනි.

(අරුණ)