නැගෙනහිර ජැටිය ගැන ඉන්දීයාව සීරුවෙන්

නැගෙනහිර ජැටිය ගැන ඉන්දීයාව සීරුවෙන්

නැගෙනහිර ජැටිය වෙනුවෙන් ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව අතර 2019 මැයි අත්සන් කළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇතැයි ඉන්දීය රජය අපේක්ෂා කරන බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් දැනට පවත්නා අවබෝධය සහ කැපවීම දිගටම පවත්වාගෙන යන ලෙසද ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව මහකොමසාරිස් කාර්යාලය කියා සිටියේය.

“නායකත්ව මට්ටමින් ශ්‍රී ලංකාව මෑත අතීතයේ දී මේ සම්බන්ධයෙන් සිය රජයේ කැපවීම කිහිප වතාවක්ම ඉන්දියාවට දැනුම් දී තිබේ. මෙම ව්‍යාපෘතිය විදේශීය ආයෝජකයින් සමග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මීට මාස තුනකට පෙර තීරණයක් ගෙන ඇත. එහි සඳහන් වන්නේ පවත්නා අවබෝධය හා කැපවීම සෑම පාර්ශ්වයක්ම අඛණ්ඩව පිළිපැදිය යුතු බව ඉන්දියාවේ අදහස” යැයි මහකොමසාරිස් කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කෙළේය.

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය 100% ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (01 වැනිදා) කළ ප්‍රකාශයට ප්‍රතිචාරයක් ලෙස මහකොමසාරිස් කාර්යාලය මෙම ප්‍රකාශය නිකුත් කළේය. ඊයේ (1වැනිදා) වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ කියා සිටියේ ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් හෙළි වී ඇත්තේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට එකඟ වූ විදේශීය සමාගම මේ සම්බන්ධයෙන් ලබා දී ඇති නියමයන් හා කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

(අරුණ)