සංචාරක රියදුරන්ට රජය දුන් සහන ඇතැම් මූල්‍ය ආයතන පිල්ලි ගහලා

සංචාරක රියදුරන්ට රජය දුන් සහන ඇතැම් මූල්‍ය ආයතන පිල්ලි ගහලා

කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා දුන් සහන ඇතැම් මුල්‍යායතන විසින් ලබා නොදීම පිළිබදව වහා පියවරක් ගන්නයැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දෙයි. ඔහු අවධාරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව මේ සදහා කඩිනමින් මැදිහත් විය යුතු බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් (23 දින) රැස් වු සංචාරක කාර්ය සාධක බලකායේ පළමු රැස්වීමේ දී ඇමතිවරයා මේ බව අවධාරණය කළේය.

සංචාරක අමාත්‍ය කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණ.

සංචාරක කාර්ය සාධක බලකාය පත් කෙරුණේ කොවිඩ් වසංගතයෙන් පසුව රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග ඊට අදාළ ඉලක්ක සපුරා ගැනීම සදහා අවශ්‍ය පියවර රජයට නිර්දේශ කිරීම සදහායි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රධානත්වය දරණ මෙම කාර්ය සාධන බලකායට රාජ්‍ය ඇමති ඩි.වි.චානක, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිණිය, මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආර්.එම්.ඒ.රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ, මහබැංකු නිළධාරීන්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති සහ SLAITO හා THASAL යන සංචාරක සංගම් නියෝජිතයන් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වෙති.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ සංචාරක ව්‍යාපාරයේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට නම් එම ක්ෂේත්‍ර යේ නිරත අත්දැකීම් ඇති අය රැකගැනීම රජයේ වගකීමක් බවයි. මේ වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු අත්දැකීම් බහුල පිරිස් වෙනත් වෙනත් රැකියාවලට යොමුවීමේ ප්‍රවණතාවයක් ඇති බවත් ඊට හේතුවී ඇත්තේ වර්තමාන වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග අහිමිවීම බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ගේ වාහන සදහා ලීසිං සහන ලබා දීමට රජය කටයුතු කළද ඇතැම් මූල්‍ය සමාගම් මගින් ඒවා ලබා දී නොමැති බවට චෝදනා ඇති බවත් හිග වාරික සදහා අමතර පොළියක් අය කිරීම වැනි චෝදනා සම්බන්ධයෙන් මහබැංකුව වහා මැදිහත් විය යුතු බවත් ඇමතිවරයා මෙහි දී කීවේය. සංචාරක රියදුරු සංගම් කීපයක් විසින් ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු ඉල්ලීම් ඇතුළත් ලිපිගොණුවක් කාර්ය සාධක බලකායට ඉදිරිපත් කළ ඇමතිවරයා වහා මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ.රත්නායක මහතා මෙහි දී කියා සිටියේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය හා මහබැංකුවේ අවධානය දැනටමත් යොමු වී ඇති බවයි. ඒ ගැන ඉක්මන් පියවරක් ගන්නා බවට ද ලේකම්වරයා ඇමතිවරයාට සහතික වූයේය.

“මහබැංකුව අපිට ඉලක්ක ලබා දීම හොදයි. හැබැයි ඒ ඉලක්ක ලබා දෙනවා වගේම මේ ක්ෂේත්‍ර යේ පීඩාවට පත් වෙලා ඉන්න අයට රජය ලබා දුන් සහන ලබාදීමටත් මැදිහත් වෙන්න. ඔවුන් රැකුණොත් විතරයි සංචාරක ක්ෂේත්‍රය රැකෙන්නේ. සංචාරක ව්‍යාපාරයේ නියුතු වූ අය රජයට හෝ කිසිවෙකුට බරක් වූ අය නෙමෙයි. ඔවුන් රටට ආදායමක් උපයා දුන් අය. ඒ අය පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවේ ඔවුන්ට සහනයක් වීම අපේ වගකීම ” ඇමතිවරයා කීවේය.

සංචාරකයන් රට විවෘත කිරීමෙන් පසු මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍ර යේ අදාළ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිණ. ඒ සදහා දැනටමත් ක්‍රියාත්මක වැඩපිළිවෙල හා ඊට මතුව තිබෙන ගැටළු හා ගත යුතු පියවර පිළිබදව ද මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.