අපේ රටේ සමස්ත ජනගහනයෙන් 52% කටත් වඩා ඉන්නෙ කාන්තාවො. ලක්ෂ 14 ක් පමණ වන රාජ්‍ය සේවයේ වගේම, පෞද්ගලික අංශයේ හා අවිධිමත් අංශයේත් වැඩ කරන ජනතාවගෙන් අතිබහුතරයක් කාන්තාවෝ රටට විනිමය උපයා දෙමින්, නිෂ්පාදනයට උරදෙන, රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් සපයන ධන උල්පත් වෙන්නෙ කාන්තවො.
නමුත් මෙවන් කාන්තා නියෝජනයක් තියෙන රටක, කාන්තාව අද සමාජය තුල ඉන්න තත්ත්වය කෙබදුද ඇයට රැකියාවේ සුරක්ෂිත බව,සමාජයේ පිළිගැනීම ආරක්ෂාව වගේම නිසි ගරුත්වය ඇත්තටම තිබෙනවාද? මේ අප ඉදිරියේ දිනෙන් දින දලුලා වැඩෙන ප්‍රශ්න...?
අපේ රටේ සමාජ ක්‍රමය සැකසිලා තියෙන්නෙ පීතෘ මූලික ආකල්ප, ආවේණික ගති පැවතුම් හා නීතිරීති මත.මේ නිසාම උපන් මොහොතේ සිටම කාන්තාවට හිමි වෙන්නෙ දෙවෙනි කොට සැලකීම, වෙන් කොට සැලකීම අවතක්සේරුකම් සමඟ ජීවත් වෙන්න. පවුලක වුනත් ආයතනයක හෝ සමාජයේ වුනත් හැම වෙලාවකම තීන්දු තීරණ ගැනීම සිදුවන්නේ පිරිමින්ගේ මූලිකත්වයෙන් නිසා හැම අවස්ථාවකදීම කාන්තාවට යම් අසාධාරණයක් සිදුවන බව සුලබ කාරණාවකි. පුරුෂයින්ගේ අණසකට යටත් වීම, සැරපරුෂ වචන හමුවේ නිහඬව සිටීම, විවිධ මානසික හා සමාජීය අවතක්සේරුකම් හමුවේ අසරණ වීම වැනි කාරණා වලින් කාන්තාව තලා පෙලා දමන තත්ත්වය දිනෙන් දිනම වැඩිවන බව දැන ගන්නට තිබෙනවා.
මේ හේතූන් නිසා අතිබහුතරයක් කාන්තාවො අද ජීවත් වෙන්නෙ බිය, සැකය, අවිශ්වාසය වගේම විශාල අවිනිශ්චිත භාවයක් එක්ක ඒ වගේම සමාජයේ විවිධ අවස්ථාවලදී අවමාන අපහාස හා වේදනාත්මක සිදුවීම් නිසාද බොහෝ කාන්තාවන් අසරණ වන අයුරු සුලභව දකින්නට ලැබෙනවා.
ඇත්තටම කාන්තාව - නැතිනම් ගැහැණිය කියන්නෙ විටක ඔබේ මව, සොයුරිය, දියණිය, බිරිඳ හෝ ලඟම හිතවතිය උපතේ සිට මිය යන තෙක්ම මේ විවිධ වූ භූමිකාවන් තුල ඇය ඇත්තටම ඉටු කරන්නෙ මහගු මෙහෙවරක් . ඇයගේ දරා ගැනීමේ ශක්තිය, ඉවසීම, කුසලතාවය වගේම මනා කලමණාකාරීත්වය මත තමයි මේ ලෝකේ පැවැත්ම රැදිල තියෙන්නෙ.මේ නිසා අනිවාර්යෙන්ම සමාජය තුල කාන්තාව සුරක්ෂිත විය යුතුයි.වැඩකරන ස්ථානය සුදුසු ප්‍රියමනාප පරිසරයක් මෙන්ම මොනයම් ආකාරයක හෝ හිංසනයට භාජනය නොවන තැනක් විය යුතුය. මේ වෙනුවෙන් මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට අපි කාන්තාවන් ලෙස හඩ අවධි කල යුතු කාලය දැන් එළඔ ඇත.
කෙස් කළබේ සඟවාගෙන දන්ත ධාතුව වැඩමවූ හේමමාලාවෝ කාන්තාවක් වුවද, ඒ ධාතුව තැන්පත් කර ඇති මාලිගාවේ පත්තිරුප්පුවට නැගීමට කාන්තාවට අකැප වූ රටක, අපි කවුරුත් උතුම් කොට සලකන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවාගෙන ආ සංඝමිත්තා තෙරණිය කාන්තාවක් වුණාට, අදටත් ශ්‍රී මහා බෝධීයේ ඉහල මළුවට යාමට කාන්තාවට අකැප රටක තව දුරටත් අපි මේ මිත්‍යාව සමඟ අන්ධව සිටිය යුතු නැත. එසේනම් අපට කාන්තාවන් ලෙස විශාල වගකීමක් ඇති බව සිතිය යුතුය.
එසේමනම් අසාධාරණයට එරෙහි වෙමු . අපි ශක්තිමත්ව පෙළගැසෙමු . සෑම කාන්තාවකටම සමාජයේ සුරක්ෂිතභාවය සපත වූ දිනෙක අපි සැබෑ කාන්තා දිනය අභිමානයෙන් සමරමු !!!
තමරා දයානි හෙට්ටිමුල්ල - ජතික සංවිධායක - ජාතික වෘත්තීය සමිති පෙරමුණ
