ඌණ උපාධිධාරින් අද පාගමනේ

ඌණ උපාධිධාරින් අද පාගමනේ

අමාත්‍ය මණ්ඩල තීරණයට මාස 03 යි. ඌණ සේවා උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් නොදීමට එරෙහි උද්ඝෝෂණය හා උද්ඝෝෂණ පා ගමන අද දින (08) පෙරවරුවේ ආරම්භ කරන බව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

2020 වර්ෂයේ රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩ සටහන යටතේ අයදුම්පත් කැඳවීමේ දී උපාධියට සුදුසු නොවන කම්කරු, අරක්කැමි, කාර්යාල කාර්ය සහයක, උද්‍යාන කම්කරු ආදී තනතුරුවල රැකියාවල නිරත උපාධිධාරීන් අයදුම්පත් යොමු කරන ලදි.

එම අයදුම්පත්වලින් යම් පිරිසකට 2020 මාර්තු 02 දින පත්වීම් හිමි වූ අතර පසුව රාජ්‍ය සේවා අමාත්‍යාංශය මඟින් 2020 අගෝස්තු 16 දින පෙර ලබා දී තිබූ සියලූ පත්වීම් අවලංගු කිරීමට යටත්ව JOB කාණ්ඩ යටතේ ඌණ සේවා උපාධිධාරී අයදුම්පත් යොමු කළ 3000 කට ආසන්න පිරිසක් ප්‍රතික්ෂේප කරන ලදි.

එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව 2020.09.09 දින ගරු විෂයභාර අමාත්‍යවරයා හමුවීමෙන් පසු අභියාචනා යොමු කිරීමට අවස්ථාවක් හිමි වූ අතර තම කැමැත්තෙන් සැප්තැම්බර් 15 ට පෙර ඉල්ලා අස් වූ ඌන සේවා උපාධිධාරීන්ට මේ වන විට සංවර්ධන නිලධාරී අභ්‍යාසලාභී පුහුණුව සඳහා ඇතුළත් වීමට අවස්ථාව හිමිව ඇත.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය නිල වශයෙන් එම 3000ට 2020.09.15 ට පෙර ඉල්ලා අස් වී අභියාචනා යොමු කළොත් අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගන්නා බවට ප්‍රකාශයක් නොකිරීම හේතුවෙන් වූ අවධානම නිසා ඉල්ලා අස්නොවූ ඌණ සේවා උපාධිධාරීන්ට දැඩි අසාධාරණයක් මේ වන විට සිදුව ඇත.

එම ඌණ සේවා උපාධිධාරීන් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙස 2021 ජනවාරි 11 දින රැස්වූ අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන රාජ්‍ය සේවා අමාත්‍යාංශයට දැනුම් දුන් අතර අදාළ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන පරිදි රාජ්‍ය සේවා අමාත්‍යාංශය ඊට විසඳුමක් ලබා දී නොමැත.

ඌණ සේවා උපාධිධාරීන්ගේ ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා නොදීමට එරෙහිව 2021 මාර්තු 08 (සඳුදා) පෙ.ව. 11.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකර ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා උද්ඝෝෂණ පාගමනක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.