ගුරු හිඟය විසඳීමට වහාම අයඳුම්පත් කැඳවන ලෙස ජනපතිගෙන් නියෝග

ගුරු හිඟය විසඳීමට වහාම අයඳුම්පත් කැඳවන ලෙස ජනපතිගෙන් නියෝග
දීර්ඝ කාලයක සිට පාසල්වල පවතින ගණිත, විද්‍යා, ඉංග්‍රීසි සහ පරිගණක තාක්ෂණ ගුරු පුරප්පාඩු පිරවීමට වහාම අයැදුම්පත් කැඳවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.
 
අදාළ පත්වීම් ලද පාසලේම වසර අටක සේවා පදනම මත ඇතැම් විෂය පුරප්පාඩු සඳහා අලුතින් බඳවා ගැනීම් සිදු කෙරෙන බවත් සඳහන්.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල ග්‍රාම නිලධාරී වසමට අයත්, කිවුලේකඩවල විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 12 වැනි වැඩසටහනට සහභිවෙමිනි.
 

දිවයිනේ සියලු පාසල්වල දක්නට ලැබෙන ගණිත, ඉංග්‍රීසි, විද්‍යාව සහ පරිගණක තාක්ෂණය ඇතුළු විෂයයන් උගන්වන ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ලබන සතියේ ඉල්ලුම් පත් කැඳවීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෑම පිරිවෙණකටම පරිගණක 05 බැගින් දීමට සහ දිවයිනේ සියලුම පිරිවෙන් විද්‍යායතනවල සිසුන් සඳහා ක්‍රීඩා පිටි සහ යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම් කර ඇති බව ද එහිදී සඳහන් කර තිබේ.