වෘත්තීය සමිති නව කතිකාවක් ආරම්භ කළ යුතුයි

වෘත්තීය සමිති නව කතිකාවක් ආරම්භ කළ යුතුයි

මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ලෝකය අද පවතින තත්වය තේරුම් ගෙන මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය නව කතිකාවක් ආරම්භ කළ යුතුයි. පවතින භූ දේශපාලන තත්වය තේරුම්  ගනිමින් අපි දැන් නව ආර්ථික හා දේශපාලන  නිම්නයකට  යා යුතුව ඇත. ඒ සඳහා  පුළුල් ලෙස අනාගතය දකින නව දේශපාලන වෘත්තීය සමිති දර්ශනයක් සකසා  ගැනීමට කාලය ලැබී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  (06) දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලංකා වතු සේවා සංගමයේ සිය වන(100) සාංවත්සරික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද වෘත්තීය සමිති නායකයෝ රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වූ පරිදි කම්කරුවන්ට දෛනික පඩිය රුපියල් දහසක් දක්වා වැඩි කළ ද, ඉදිරියේ දී යම් ගැටළු  මතු හැකි බවත්, එයට ප්‍රධාන හේතුව මෙම වතු මෙම කළමනාකරණ සමාගම්වලට පවරා දීමේ දී අත්සන් කළ ගිවිසුම ඉතාමත්ම ලිහිල් කොන්දේසි යටතේ, වතු සමාගම්වලට  වාසිදායක වන ලෙස සකස් කිරීම නිසා බව ද  ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙම වතු පාලනය කිරීම සඳහා පවතින මොනිටරින් යුනිට් එක පසුගිය කාලයේ තමන්ගේ  රාජකාරි හරියට ඉටු නොකිරීම ද මේ තත්ත්වයට හේතුවකි. එම නිසා පැවති සෑම රජයක්ම  වතුවල ඇති වූ මේ තත්ත්වයන්ට වගකිව යුතු බවත්, නමුත් අවසානයේ එහෙත් ප්‍රතිඵල වලට වගකීමට සිදුවී ඇත්තේ වර්තමාන වගකිව යුත්තන්ට බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. මේ වන විට ඉඩම් හෙක්ටයාර් තිස්නව දාහක් (39,000) එම වතුවල වල් බිහි වී ඇතැයි ද එම වතු ඉඩමි වතු කම්කරුවන්ට හා ප්‍රදේශයේ ජනතාවට වගාව සඳහා පමණක් බෙදා දීමට කටයුතු කළ යුතුව ඇතැයි ඇමැතිවරයා පැවසීය. 

එසේම වතුකරයේ ජනතාවට සමාජ සාධාරණත්වය  ඉටු වී නැති බව ද, ඔවුන්ගේ මූලික පහසුකම්වත් සපයා දීමට සපයාදීමට වතු පාලකයන් කටයුතු කරන්නේ නැති බව ද  ඇමතිවරයා පැවසීය.

දේශපාලන හෝ වෙන ජාති ආගම්  යම් භේදයකින් තොරව නියම ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග පෝෂණය කරමින් සිය වෘත්තීය සමිතිය පවත්වා ගෙන යන ලංකා වතු සේවා සංගමය සෙසු වෘත්තීය  සමිතිවලට ද  පක්ෂවලට ද ආදර්ශයක් බව ඇමතිවරයා පෙන්වා දුන්නේය. පක්ෂ දේශපාලනයෙන් තොර වෘත්තීය සමිති ව්‍යාපාරයක් පවතින වෘත්තීය සමිති සංස්කෘතියක් මේ රටේ ඇති වනු දැකීම තමන්ගේ අපේක්ෂා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.