කාන්තා මළ සිරුරුවල හිස සොයා යාම වෙනුවට ඇය සොයා යමු

කාන්තා මළ සිරුරුවල හිස සොයා යාම වෙනුවට ඇය සොයා යමු
ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී ති‌බේ. "රටකි දැයකි ලොවකි ඇය" මෙවර කාන්තා දිනයේ තේමාවයි. එහෙත් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරන දිනය සැමරීම ශ්‍රී ලාංකේය අපට සිදුවන්නේ ඉතාම ඛේදජනය වටපිටාවකය. ඉන් ප්‍රමුඛතම හේතු සාධක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පෙළ ගැසී තිබීම දෛවයේ සරදමක් වැන්න. ජාතික වශයෙන් රටේම ආන්දෝලනයකට තුඩු දුන් කාන්තා ඝාතනයකට අදාළව ඇයගේ මළ සිරුරේ හිස සොයමින් සිටීමයි. එය තාමත් හමු නොවීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නොහැකිව විමර්ශන කණ්ඩායම් අභියෝගයකට මුහුණදී සිටියි. ජාත්‍යන්තර වශයෙන් දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් වලට අදාළව ජාත්‍යන්තර ලෝකය අවි අමෝරා සිටීමයි. වෙනත් අයුරකින් සඳහන් කරතොත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය/සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේද, අදය. මෙවන් වටපිටාවක වුවද, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයාද, අගමැතිවරයාද කල් තියාම කාන්තා දිනය නිමිත්තෙන් ඊයේ දිනයේ සුවිශේෂී පණිවිඩ නිකුත් කර තිබිණි.
 
 
"හැමවිටම මුදලින් ගණනය නොකළද, ජාතික නිෂ්පාදනයට ඇයගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රීයගේ අභිමානය, ගෞරවය හා සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් වන්නෙ ඒබැවිනි" ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ එසේ දැක්වෙයි. ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණි. අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්විණි. " කාන්තාවන්ට සමාජය තුළ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතුය. සෞභාග්‍යයයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම්වලට මුල්තැන ලබාදෙනවා මෙන්ම ඔවුන්ව දිරිය කතුන් ලෙස සවිබල ගැන්වීම පිළිබඳව නිතැතින් අවධානය යොමු කර තිබේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ත්වය මෙන්ම වෙනස් කොට සැළකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකිමු. ඔවුන්ගේ නැගී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳිමින් සිටියි. " ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද රටේ ආර්ථිකයට, දල දේශීය නිෂ්පාදනයට මෙන්ම යහ පැවැත්මකට ස්ත්‍රීයගේ දායකත්වය අගය කරනු ලබයි. ගැටළුව ඇත්තේ අගය කිරීම පමණක් ප්‍රමාණවත්ද යන්නයි. අද දවසේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇය මුහුණදෙන දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන්ට පිළියම් යෙදීමට වගකිව යුතු රජයක් ලෙස නිසි පියවර ගෙන ඇත්තේද යන්න ගැටළුවකි. ඇයගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රටේ වගකිව යුත්තන් ඒදා සිට අද දක්වාම නිසි පියවර ගනු ලැබුවේ නම් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවකගේ මළ සිරුරක හිස සොයා යන්නටත්, කාන්තාව මෙන්ම පොදුවේ රටේ මානව හිමිකම් උල්ලංඝණයවීම් හා චූදිතයින් නිදැල්ලේද, ඇතැම්විට ඉහළ තනතුරු දරමින්ද සිටීම පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡාවට බඳුන්වන්නෙ නැත.
 
මෙවන් පසුබිමක වුවද, වැඩබිම්වල, වගකිව යුතු ආයතන මට්ටමින් කාන්තාවන්ගේ යහපත් හෙට දවස පිණිස යම් යම් සාධනීය ක්‍රියාකාරකම් ආරම්භ වනු දැකීම කෙතරම් අඩුපාඩු මධ්‍යයේ වුවද, සතුටු විය යුතු කරුණකි. 
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම පාහේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් 'කාන්තාවන්ට සිදුවන වෙනස් කොට සැලකීම තුරන් කරනු පිණිස' විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා සිටින්නේ ද මෙවැනි පසුබිමකය. ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඔවුන් මෙලෙස ඉල්ලා ඇත. 
 
ශ්‍රී ලංකාව තුළ සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක්වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ද ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර තිබේ. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පවසා ඇත්තේ  මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවයි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිත්වය, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය විසින් දරනු ලබන අතර  ඇය ඇතුළ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීරියන් වන ආචාර්ය හරිනි අමරසූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා අතුකෝරළ, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද එය නියෝජනය කරයි. මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සං‍යුතිය මන්ත්‍රීවරයන් 25 ගෙන් සමන්විත විය බවටත් යෝජනාකර ඇත.
 
රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන්කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු යෝජනා දහයක් (10) කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියෝ යෝජනා කරති. පාර්ලිමේන්තුව නැවත රැස්වෙන්නේ හෙට දිනයේය. එහිදී ඒ් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 'වැඩබිම' වෙනුවෙන් අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙසේද කියා සිටියාය.
 
"අප මේ යෝජනාව සිදුකරන්නේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්මයි. කාන්තාවන්ට කාන්තාවන් වීම නිසාම සමහර රැකියාවන් දෙන්නෙ නෑ. උසස්වීම් ගන්න ගියාම ගැටළු සහගතයි. විවිධ වෙනස්කම්වලට ලක්වෙනවා. මෙහෙම වුණාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට, සාධාරණයක් ඉටු කරගන්නට තැනක් නෑ. ඒ ගැටළු විසඳාගන්නට, ඉදිරිපත් කරන්නට, සාකච්ඡා කරන්නට අපි වෙිදිකාවක් හදා දිය යුතුයි. ඒ් නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් 12 දෙනා හැටියට, අපි ගරු කථානායකතුමන්ගෙන් ඉල්ලා සිටියේ විශේෂ කාරක සභාවක් පත්කරන ලෙසයි. කෙනෙකු කාන්තාවක්වීම නිසාම වෙනස් කොට සලකන්නේ නම්, අසාධාරණයට ලක් වෙන්නේ නම් ඒ් අවනඩුව විමර්ශනය කොට අදාළ කාන්තාවට යම් සාධාරණයක් ඉටු කරදිය හැකි තැනක් ඔ්න. ඊළඟ පාර්ලිමේන්තු දිනය මාර්තු 09 දා. ජාත්‍යන්තර කාන්තා දිනයට පසු දායි. . ඒදාට අපි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා"
 
2019 වසරේ ජිනීවාහි පැවති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසිවාරයේ දී සම්මත කරගත් සී 190 වෙනි සම්මුතියට අනුව වැඩබිම තුළ කිසිවෙකුට  වෙනස්කොට සැලකීමට, ප්‍රචණ්ඩත්වයට හා හිංසනයට ඉඩ නොතැබිය යුතුය. වැඩමිබ් තුළ වඩාත් අසාධාරණයට හා වෙනස් කොට සැලකීමට භාජනය වන්නේ කාන්තාවන් බැවින් සී 190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හෙට දවසේ මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය වඩාත් පුළුල් කිරීමට හා ශිෂ්ටසම්පන්න රටක් බිහි කිරීමට ශක්තිමත් පදනමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ උත්සාහයේ මෙම කාලීන අවශ්‍යතාව යම් තාක් දුරට හෝ සංකේතවත් වනු ඇතිද? පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරියගෙන් ඒ් පිළිබඳ විමසීමේදී ඇය කියා සිටියේ "ඒකී සම්මුතිය නිසා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නොව මෙම යෝජනාව තුළින් ඉදිරියේදී එකී සම්මුතිය බලාත්මක කරවා ගැනීමට මං පාදා ගැනීමක් කළ හැකිවෙනු ඇති බවයි. ඒ් පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කියා සිටියාය.
 
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හැටියට අපට ලොකු බලතල ලැබෙන්නෙ නෑ. අපට අපට මුණ ගැහිලා සාකච්චා කරන්නට හැකි වුණාට නිල වශයෙන් යම් අගතියකට පත්වූ කෙනෙකු වෙනුවෙන් කාව වත් ගෙන්වා ප්‍රශ්න කරන්නට, ඒ් පිළිබඳ විධිමත් ලෙස බලපෑම් කරන්නට හැකියාවක් සංසදයට නෑ. ඒ් නිසා පළමුවෙන්ම අපි තීරණය කළේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් එකක් පත් කරන්නටයි.  ඒතකොට ඊට වඩා විධිමත් විදිහට මැදිහත් වෙන්නටත්, තොරතුරු ඒ්කරාශි කරගන්නටත් හැකියාවක් තියෙනවා. නිලධාරීන් ඒහෙම ගෙන්වා යම් යම් ගැටලු විසඳීමට පවත්නා හැකියාව ගැන ප්‍රායෝගිකව කළ හැකි දේ ගැන සාකච්ඡා කරන්නට ක්‍රියාත්මක වෙන්නට හැකියාව තියෙනවා. වැඩබිමේ සිදුවන ස්ත්‍රී-පුරුෂ සමාජභාවී ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා ක්‍රියා මාර්ගයක් ගැනීමට දැනට පවත්නා තත්ත්වයට වඩා බලතල ඔ්න වෙනවා. මේ වෙලාවෙ අපට කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී කතා කරන ඒක හා කථානායකවරයාට යෝජනා කරන ඒක පමණයි. ඒ් නිසා තමා අපි විශේෂ කාරක සභාවක් පත් කරන්නට යෝජනා  කළේ. ඒ් තුළින් අපට අපේ සැබෑ ගැටළු ගැන මැදිහත්වීමක් කරන්න පුළුවන්. එතනදි අපට  වැඩබිම තුළ කාන්තාවන්ට සිදුවන අගතීන් පිළිබඳ ගැටළු හා විසඳුම් යෝජනාත් ඇතුළත් කරගන්න පුළුවන්."
 
 
පක්ෂ, පාට භේද නොතකා කාන්තාවන් ලෙස ඔවුන් කරනු ලබන මැදිහත්වීමත්, අපේක්ෂාවත් සුළු කොට තැකිය යුතු නැත. මේ අතර 
වැඩ කරන ජනතාවට පුළුල් රැකවරණයක් දෙන වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම සදහා වන සම්මුතිය මෙරට බලාත්මක කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එකඟත්වය පළ කර තිබේ.
 
සී 190 සම්මුතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබද මෙරට ප්‍රධාන වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අතර සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළ බවත්, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට සිය වැඩබිමේ දී ආරක්ෂාව සැළසීම හා ශක්තිමත් විශ්වාසයක් ඇති කිරීමට මේ තුළින් හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටි බව මීට පෙරාතුව 'වැඩබිම' වාර්තා කර තිබුණි. මේ අයුරින්ම ස්ත්‍රීන්ට සිදුවන අකටයුතුකම්, හිංසාවන් හා පීඩාවන් මෙන්ම වෙනස් කොට සැලකීම තුරන් කිරීමට ආරම්භක පියවර මේ මොහොතේ තැබිය හැකි නම් හිස නැති මළ කඳන්වල හිස සොයා යාමේ ප්‍රධාන පෙළේ ප්‍රවෘත්ති වලින් ඔබ්බට කාන්තාවන්ට නිසි තැන ලැබෙන ප්‍රවෘත්ති පළ වනු ඇත. ගෞරවනීය රටක් අනාගතයේ බිහි කළ හැකිවෙනු ඇත.
 
 
- පී.ඩබ් මුතුකුඩආරච්චි