ආණ්ඩුවේ ඇමතිවරයෙක් දුම්වැටි ප්‍රචාරය කිරීමට විරෝධය

ආණ්ඩුවේ ඇමතිවරයෙක් දුම්වැටි ප්‍රචාරය කිරීමට විරෝධය

ජනතාව දුම්වැටි වලට හුරුකරවන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරය හෙලා දකින බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් කිය සිටින්නේ,

2021/03/17 දින කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වු මාධ්‍ය හමුවකදී ලංකාවේ නිශ්පාදිත ආයුර්වේද නිශ්පාදනයක් ලෙස හුවා දක්වමින් විදේශීය නිකොටින් සහිත සිගරට් වලට ආදෙශකයක් ලෙස භාවිතා කල හැකි යැයි පවසමින් “කුරුඳු දුම්වැටි” හඳුන්වාදී එය මුවෙහි රඳවාගෙන මාධ්‍ය වෙත පෙනී සිටින ලදී. ඔවුන්ගේ ඉලක්කය මෙම නිශ්පාදන කර්මාන්ත ශාලා සියයක් පමන රට පුරා ඇරඹීම යි.

  1. දැනට ලංකාවේ නීතියට අනුව දුම් වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලයක් නැත. මෙය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ප්‍රකාශිත දුම්කොල මධ්‍යසාර පනත් උල්ලංඝනය කිරීමකි. මීට අමතරව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් චීන දුම්වැටි ආනයනය සදහා බලපත්‍ර ලබා දීමට උත්සාහ කල අවස්ථාවේදී නිකුත් කළ නිවේදනය මගින්ද ලංකාවේ ජනතාව දුම්වැටි හා දුම්කොළ නිශ්පාදනයන්ට හුරුකරවීම බරපතල ගැටළුවක් සේ පෙන්වා දී තිබේ.
  2. අද දවසේ තරුණ පරපුරේ දුම්වැටි භාවිතාව සාපේක්ශව අඩුවීමේ ප්‍රවනතාවයක් ඇති බැවින් මෙමගින් පාසල් දරුවන් තුල නව සිගරට්ටු අත් හදා බැලීමත් ඉන්පසු ඊළඟ පියවර ලෙස නිකොටින් සහිත දුම්වැටි කරා යාමත් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත උත්තේජනයකි. රටේ වගකිව යුතු ඇමතිවරයෙකු මෙය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමෙන් දරුවන් පලමුව එයටත් ඉන්පසු විදේශීය සිගරට් වලටත් හසුවනු ඇත.
  3. දියුනු මානව සම්පතක් නිර්මාණය කර ගැනීමේදී අත්‍යාවශය වන්නේ දුම්වැටි භාවිතාව අවම කිරීම මිස එය වක්‍රව හෝ ප්‍රවර්ධනය කිරීම නොවේ.
  4. රටේ සමස්ත සෞඛ්‍ය වියදමෙන් විශාල මුදලක් ශ්වසන සහ හෘද රෝග වලට වෙන් වන අතර ඉන් බොහෝමයක් සක්‍රීය මෙන්ම අක්‍රීය දුම් පානය නිසා වී ඇත. එසේ රෝගී වන්නන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා රජයට අති විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ. #කොරෝනා වසංගතය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහාද දුම්වැටි භාවිතය අවම කිරීම අත්‍යාවශ්‍යව තිබේ.

එබැවින් මෙම පදනම් විරහිත දුම්වැටි ප්‍රචාරණය සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම හෙලා දකින අප සංගමය මේ සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුකල යුතු බව අවධාරණය කරමු. ඉදිරියේදී මෙවන් අසත්‍ය පදනම් විරහිත ප්‍රචාරණයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් ,එකී අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම ජනතාව මුලාවට පත්වීම වැළැක්වීම සදහා අත්‍යාවශ්‍ය බවත් සිහිපත් කරමු.