දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානමක්

දුම්රිය වෘත්තීය සමිති වර්ජනයකට සූදානමක්

ඇබෑර්තු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුස්සකු පත්කර ගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි කටයුතු කර ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකින් උපරිම සුදුස්සා නම් කර තිබියදී වෘත්තීය සමිති දෙකක බලපෑම් මත එම  පත්වීම දීම විෂය භාර ඇමැතිවරයා හිතාමතා ප්‍රමාද කිරීම නිසා වෘත්තීය සමිති 45කින් යුත් නව දුම්රිය වෘත්තීය සමිති සංසදය මැයි මස 5දා සිට වර්ජන ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.

හෙට (28දා) දින පැවැත්වීමට නියමිත එම වෘත්තීය සමිති සංසදයේ විධායක සභා විශේෂ රැස්වීමේදී ඒ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙන බවද එහි සාමාජික ශ්‍රී  ලංකා දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් මහතා ප්‍රකාශ කරයි.

දුම්රිය වෘත්තීය සමිති දෙකක් විසින් තම අභිමතයට අනුව කටයුතු කළ හැකි අයකු දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට පත්කර ගැනීම පිණිස විවිධ අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් පසුගිය කාල සීමාව තුළ රජයට කේවල් කිරීම සඳහා වෘත්තීය සමිති සදාචාරවලට පටහැනිව යමින් ක්‍ෂණික වැඩ වර්ජන කිහිපයක් පවත්වා දුම්රිය මගීන් හා දුම්රිය පාලනාධිකාරිය දැඩි අසීරුතාවට පත්කළ බවත්, මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලනමය වශයෙන් කඩා වැටීමකට හා දැඩි අපකීර්තියකට ලක්ව ඇති බවත් එම සංසදය පසුගිය සිකුරාදා (23දා) කරුණු සහිත සන්දේශයක් මඟින් ජනාධිපතිවරයා දැනුවත් කළේය. මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරයාට උපදෙස් දී ඇත්තේ අදාළ අමාත්‍ය මණ්ඩල කැබිනට් පත්‍රිකාව අනුව කටයුතු කරන ලෙසයි.

නිත්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයකු නොමැති නිසාත් පෙර කී වෘත්තීය සමිති දෙක ක්‍රියාත්මක කරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසාත් දුම්රිය ධාවන කටයුතු අඩපණ වී, දුම්රිය ධාවනය අඩපණ වීම් ඇතුළු දුම්රිය ගමන් වාර ප්‍රමාදවීම් හා අවලංගු කිරීම්, දුම්රිය මාර්ග නඩත්තු කටයුතු අඩපණ වී දුම්රිය පීලි පැනීම් ඇතුළු දුම්රිය ධාවනය බාධාකාරී සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළදී සිදුවී ඇතැයිද මෙම වෘත්තීය සමිති දෙක හැර දුම්රිය වෘත්තීය සමිති සියයකට ආසන්න සමිති ප්‍රමාණයෙන් එකදු වෘත්තීය  සමිතියක් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවකට මැදිහත් වී නැතැයි එම සංසදය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

මෙම අසාධාරණ අනීතික ක්‍රියාවට එරෙහිව දුම්රිය ඉන්ජිනේරු සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය ෆෝමන්වරුන්ගේ සංගමය, දුම්රිය පාලක මැදිරිය, දුම්රිය මැදිරි සේවක සංගමය, දුම්රිය එන්ජින් රියැදුරු සංගමය හා දුම්රිය රියැදුරු සහායක සංගමය ඇතුළු දුම්රිය ධාවනය ඍජුව කටයුතු කරන වෘත්තීය සමිති 45කින් සමන්විත නව දුම්රිය වෘත්තීය සමිති සංසදයට එකී දුම්රිය රියැදුරු සංගමයේ සාමාජිකයන් 60කට අධික පිරිසක් සහාය ලබාදීමට එක්ව සිටින බැවින් එම සමිතියේ කේවල් කිරීමේ හැකියාව අහෝසි වී ඇති බැවින් ඉදිරි කාලයේදී දුම්රිය වර්ජනයකට අවස්ථාව අහිමි කර දුම්රිය ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිය නව සංසදය සතු බවත්, සංසදය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

කරුණු මෙසේ තිබියදී එම තනතුර සඳහා උපරිම සුදුසුකම් ලැබූ නිලධාරියා එම පුරප්පාඩුවට පත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොවන්නේ නම් පෙර දැනුම් දුන් ආකාරයට මැයි මස 5 වැනි දින දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අකැමැත්තෙන්  හෝ එළැඹෙන බවද එම සංසදය අවධාරණය කරයි. 

උපුටා ගැනීම -මව්බිම පුවත්