රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු හා වැටුප් ලැබීම ගැන අලුත් නිවේදනයක්

රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු හා වැටුප් ලැබීම ගැන අලුත් නිවේදනයක්

රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සතියකට දින දෙකක් එනම් මසකට දින අටක් සේවයට වාර්තා නොකර සිටීමට ඉඩ දිය හැකි බව  සඳහන් කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අද චක්‍රලේඛයක් නිකුත් කළේය.

කොවිඩ් වයිරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සේවා ස්ථානයන්හි දුරස්ථභාවය ආරක්‍ෂා කරගැනීමේ අරමුණින් රාජ්‍ය ආයතනවලට කැඳවීම සීමා කිරීමට රජය තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එහිදී  ආයතනයට වඩාත් ගැලපෙන ක්‍රමවේදයක් සකස් කරගැනීමේ අවස්ථාව ආයතන ප්‍රධානීන් වෙත ලබා දී තිබේ.

නිලධාරීන් සතියකට දින තුනකට වඩා කැඳවීමේ අවශ්‍යතාවයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් ද ආයතන ප්‍රධානියාට තීරණයක් ගත හැකි බව එම චක්‍රලේඛයේ දැක්වේ.

එලෙස මාසික සේවා මුර සකස් කළ පසු කිසියම් නිලධාරියෙක් සේවයට වාර්තා කළ යුතු දිනයක නොපැමිණෙන්නේ නම් පෞද්ගලික නිවාඩුවලින් එම දිනය අඩු කළ යුතු අතර වෛද්‍ය හෝ වෙනත් හේතු මත සේවා මුර ක්‍රමයට ඇතුළත් කර නොගන්නා නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කළ යුතු බව ද එහි සඳහන් වේ.

සේවාමුර අනුව සේවයට නොකැඳවන දිනයන්හිදී මාර්ගගත ක්‍රමයට සෑම නිලධාරියෙක්ම තම රාජකාරීවල නිරතවිය යුතු වේ.

යම් නිලධාරියකු නිරෝධායනයට යොමු කර ඇති අවස්ථාවක ඔවුන්ට එම කාලයේදී සම්පූර්ණ වැටුප් හිමිවන බව ද චක්‍රලේඛයේ සඳහන්ය.