අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

Covid-19 ව්‍යාප්තිය දැඩි වීම හේතුවෙන් මැයි 12 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

1999 -2021 දක්වා රාජ්‍ය සේවය හා පළාත් රාජ්‍ය සේවය සඳහා බඳවාගෙන ඇති උපාධිධාරීන්ගේ ප‍්‍රධාන වෘත්තීය ඉල්ලීම් 06 ක් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් 2021 මැයි 12 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අසනීප නිවාඩු වාර්තා කිරීම හා උද්ඝෝෂණය මැයි 12 දින නොපවත්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදි.

රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන Covid-19 වෛරසයට අදාළ ප්‍රභේද කිහිපයක්ම මේ වන විට රටපුරා ව්‍යාප්තවෙමින් පැවතීමත්, එහි බෝවීම හා පැතිරීම වේගවත් බවත් සෞඛ්‍ය අංශ මගින් පෙන්වාදීම ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹීමට සිදුවන බව අවධාරණය කරමු.

ආණ්ඩුවේ වගකීම් විරහිත භාවය හා නොසැලකිල්ල හේතුවෙන් 3 වන රැල්ලක් නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුව තවදුරටත් සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛතාවය ලබා දෙමින් Covid-19 ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු නොකරන බවට සෑම අංශයකින්ම චෝදනා එල්ලවෙමින් පවතී. කොරෝනා වෛරස ව්‍යාප්තවීමට ඉඩ හැර ආණ්ඩුවට ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට ඉඩහැර ඇති බව අපි පෙන්වා දෙන්නෙමු.

1999 සිට බඳවාගන්නා උපාධිධාරීන්ට තනතුරු උසස්වීමේ පටිපාටියක් ලබා නොදීම, උපාධියට හා උපාධිධාරීන්ට විධිමත් රාජකාරී ක්‍රමයක් ලබා නොදීම, 2006 ඇති කළ වැටුප් හා දීමනා විෂමතා ඉවත් නොකිරීම, 2016 සිට බඳවාගන්නා උපාධිධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමය අහිමි කිරීම, ඇතුළු අයිතීන් ගණනාවක් මෙතෙක් ලබා දීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු නොකිරීම නිසා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා උපාධිධාරීන් දැඩි පීඩනයකට මුහුණ දී ඇත.

Covid-19 වෛරස ව්‍යාප්තිය අවම වීමත් සමඟ අත්හිටවූ වෘත්තීය ක්‍රියාමාර්ගය යළි දියත් කරන අතර Covid වලට මුවාවී ආණ්ඩුවට දිගින් දිගටම වැඩ කරන ජනතාවගේ අයිතීන් යටපත් කිරීමට ඉඩ නොදෙන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.