ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලයි

ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට කඩිනමින් එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලයි

ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රමුඛ අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදෙන රාජ්‍ය සේවකයින් සඳහා Covid- 19 එන්නත කඩිනමින් ලබා දීමට පියවර ගන්නා මෙන් ඉල්ලා ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත සහ Covid- 19 රෝග පාලන රාජ්‍ය අමාත්‍යා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලිපියක් යවමින් සංවර්ධන නිලධාරී සේවා සංගමය ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

වෛරස ව්‍යාප්තිය හමුවේත් මහජනතාවගේ හා රජයේ අවශ්‍යතාවයන් වෙනුවෙන් අඛණ්ඩව සිය රාජකාරි ඉටු කරන රාජ්‍ය සේවා හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛ සමස්ත ක්‍ෂේත්‍ර නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් සඳහා රෝග පාලනය සඳහා වන එන්නත් කඩිනමින් ලබාදීමට පියවර ගත යුතු යැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

අප සංගමය මීට පෙරද මෙම ඉල්ලීම ආණ්ඩුවෙන් සිදුකර ඇතත් රාජ්‍ය කටයුතු පවත්වා ගෙන යෑමට මැදිහත්වන රාජ්‍ය සේවකයින් නොසලකා ක්‍රියා කිරීම පිළිබඳව අපගේ විරෝධතාවය පල කරමු.

අපගේ මෙම ඉල්ලීමට පසුගිය සතියේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත HA/3/3/57.1 දරණ ලිපිය යොමු කරමින් ඉල්ලා ඇති අතර එම ලිපියේම සඳහන් කරන අන්දමට 2021.02.14 දිනැතිව HA/02/26/03/19 දරණ ලිපිය මගින් ද ඉල්ලිම් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

02. ව්‍යාප්තිය හමුවේ දී ‘‘රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම’’ 02/2021(1) රාජ්‍ය පරිපාලන චක‍්‍රලේකය මගින් අමාතයාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සංස්ථා, මණ්ඩල, ඇතුළු ආයතන සියල්ලේම රාජය සේවකයින් අඛණ්ඩව රාජකාරී කළ යුතු බවට විධාන කර ඇත.

03. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූම ක්‍ෂේත්‍ර නිලධාරීන් රජය පවරන සියලූම රාජකාරී ඉටු කිරීම සඳහා ක්‍ෂේත‍්‍රයේ පුද්ගලයින් හමුවීම, නිවැස්වලට යාම, තොරතුරු ලබා ගැනීම, සහන සැලසීම, නිරෝධායනය වන පවුල්වල විස්තර ලබා ගැනිම ඇතුළු කාර්යන්හි නියැලේ.

04. රාජ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බැවින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු වෙනත් ආයතනගත රාජ්‍ය සේවකයින් උදේ සවස පොදු ප්‍රවාහන සේවාවන් යොදා ගනිමින් කාර්යාලවලට පැමිණීම හේතුවෙන් ඔවුන්ට ද වෛරසය වැළඳීමේ අවධානමක් පවතී. වෛරස ව්‍යාප්තිය යටතේ ද අත්‍යවශ්‍ය සේවා සියල්ල සපයමින්, මිනිසුන්ගේ ජීවිත අඛණ්ඩව හා සුරක්ෂිතව පවත්වාගෙන යාමටත්, ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහාවන යාන්ත්‍රණය මෙහෙයවීම, සම්බන්ධීකරණය, පසුවිපරම, තොරතුරු ලබා ගැනීම හා රජයට අවශ තොරතුරු ලබා දීම ඇතුළු වගකීම් සහගත කාර්යභාරයක් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු සියලූම ක්‍ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන් ප්‍රමුඛ කාර්යයන් ඉටු කරනු ලබයි.

ඒ අනුව උක්ත කරුණු සලකා බලා රාජ්‍ය පරිපාලන චක්‍රලේක 02/2021(1) බලපවත්වෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතනවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු සියලූ ක්ෂේත්‍රගත හා කාර්යාලගත නිලධාරීන්ට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.