‘කොළඹ වරාය පනත් කෙටුම්පත’ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

‘කොළඹ වරාය පනත් කෙටුම්පත’ ගැන පාර්ලිමේන්තු විවාදයට දින නියම වෙයි

මැයි 18 වනදා සිට මැයි 20 වනදා දක්වා දින 03ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (13) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවසුවා.

දසනායක මහතා පැවසුවේ කොවිඩ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට එහිදී තීරණය වූ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කියා සිටියේ මැයි මස 19 සහ 20 යන දිනවල කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය වූ බවයි.

ඒ අනුව මැයි 19 වැනිදා පෙ.ව 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වාත් ඉහත විවාදය පැවැත්වීමට නියමිත බවයි ඔහු සදහන් කළේ.

‘‘ මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කිරීමක් සිදුවන්නේ නැහැ. ලබන සතියේ පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් දිනය වන මැයි 18 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී මුදල් පනත යටතේ රෙගුලාසියක්, මුදල් පනත යටතේ වන නියෝග 02ක්, වරාය සහ ගුවන්‍ තොටුපොළ සංවර්ධන පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් 08 ක්, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් 02ක්, විදේශ විනිමය පනත යටතේ වන නියෝගයක් විවාදයට ගැනීමට නියමිතයි. එදින පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා වෙන් කර තිබෙනවා. එමෙන්ම එදින පාර්ලිමේන්තුව පස්වරු 4.30 ට කල් තැබීමෙන් පසුව පස්වරු 5.30 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා‘ යැයි ද මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.