සාපෙ හා උපේ සිසුන් උග්‍ර අර්බුදයක

සාපෙ හා උපේ සිසුන් උග්‍ර අර්බුදයක

2021 අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් අර්බුදයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ මේ වන විට අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස දක්වා කල්දමා ඇත. එසේම දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස දක්වා කල්දමා ඇත. එහෙත් 2020 වසරේ පාසල් පැවතියේ දින 60 ක් වැනි සුළු කාලයක් වන අතර, 2021 වසරේ මේ වන විට පාසල් පවත්වා ඇත්තේ සීමිත දින ගණනකි. මේ වන විටත් කෝවිඩ් 19 තත්වය මත පාසල් වසා දමා ඇති අතර, පාසල් පටන් ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි තත්වයක් මතු වී ඇත. මේ තත්වය තුළ පාසල් සිසුන්ට මඟහැරුණු විෂය කොටස් සම්බන්ධයෙන් කිසිදු පිළියමක් නොමැතිව විභාග පැවැත්වෙන කාලසීමාව පමණක් ප‍්‍රකාශයට පත්වීම බරපතල ගැටලූවකි. සිසුන්ට මගහැරුණු පාසල් කාලය වෙනුවට අසාර්ථක යැයි සියලූ පාර්ශව විසින් පිළිගන්නා මාර්ගගත අධ්‍යාපනය පමණක් කි‍්‍රයාත්මක වෙමින් පවතිද්දී  මෙසේ විභාග දින තීරණය කිරීමෙන් මාර්ගගත අධ්‍යාපනය නොලබන බහුතරයක් සිසුන්ට බරපතල අසාධාරණයක් සිදු වේ.

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමේ එකම විකල්පය ලෙස මාර්ගගත අධ්‍යාපනය යොදා ගන්නා අතර, එය අසාර්ථක බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ද පිළිගෙන ඇත. එහෙත් වෙනත් විකල්පයකට නොයා එම ක‍්‍රමයම භාවිතා කිරීමෙන් සිසුන් විශාල පිරිසකට බරපතල අසාධාරණයක් සිදු වී ඇති අතර, බොහෝ සිසුන් අධ්‍යාපනය අතහැරෙන තත්වයට පත්ව සිටිති. එසේම පවතින විෂය මාලාව මතුවී ඇති තත්වයට අනුව ප‍්‍රායෝගිකව සකස් නොකර සමස්ත විෂය මාලාව ආවරණය කිරීමට බලකෙරී ඇති තත්වයක උසස් පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ 3 කට වැඩි දරුවන්ට සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලක්ෂ 5 කට වැඩි දරුවන් දැඩි පීඩනයකට පත්ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර කෝවිඩ් 19 වසංගත තත්වය තුළ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සම්බන්ධයෙන්  විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත්, වසර දෙකක සමස්ත විෂය මාලාව වෙනුවට මතුව ඇති තත්වය තුළ ප‍්‍රායෝගිකව ආවරණය කළ හැකි විෂය මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව හා ජාතික අධ්‍යාපන කොමිසම මැදිහත් වී කි‍්‍රයාවට නැගිය යුතු බවත් ලංකා ගුරු සංගමය දැඩිව අවධාරණය කර සිටී.

අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින මෙම ව්‍යාකූල තත්වයට පිළියම් සෙවීම වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය කරමින් සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගවලට පටහැනිව පන්තියක සිටින ළමුන් සංඛ්‍යාව වැඩි කිරීම, ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ගේ දරුවන් අවිධිමත්ව පාසල්වල ඇතුළත් කිරීම වැනි දේශාපාලන කටයුතු වීම බරපතල කනගාටුදායක තත්වයකි.