වසංගත තත්ත්වය හමුවේ කලාපයේ ඇඟළුම් සේවකයින් අසරණයි -ඩාබිඳු සාමූහිකය

වසංගත තත්ත්වය හමුවේ කලාපයේ ඇඟළුම් සේවකයින් අසරණයි -ඩාබිඳු සාමූහිකය
 
* වසංගත තත්ත්වය හමුවේ මේ වෙද්දි ආයෝජන කලාපයේ තතු මොන වගේද?
 
පළවෙනි හෝ දෙවෙනි රැල්ලට වඩා මේ තුන්වෙනි කොවිඩ් රැල්ල ඉතාම භයානකයි. නියමිත පරිදි පීසීආර් කරන්නෙ නෑ. පොසිටිව් වුණු අය ගෙනියන්නෙත් නෑ. ක්‍රියාත්මකවීම  ප්‍රමාණවත් මදි. හැමෝම වගේ ඉන්නෙ බෝඩිං වල. එතකොට පොසිටිව් වුණු කෙනා දවස් 5ක් 6ක් බෝඩිමේම ඉන්නකොට ඒ් ආශ්‍රිතව බෝඩිමේ සිටින අනිත් අයත් පාවිච්චි කරන්නෙ එකම වොෂ් රූම්, එකම කිචන් එක. ඉතිං අනිත් අයටත් බෝ වෙන එක සුලබයි. ගෙනිච්ච අය ගැන එක්කෙනෙක් ගෙ අත්දැකීම කියන්නම්. පහුගියදා යාපනේ විශ්වවිද්‍යාලයේ තියෙන නිරෝධායන මධ්‍යස්ථානයකට එක් කෙනෙක් අරන් ගියා. දවස් 6ට පස්සෙ තමා අරන් ගියේ. දවස් 3ක් එහේ තියාගෙන ඉඳලා 4 වෙනි දවසේ ආයෙම ගෙනත් හිටපු බෝඩිමටම දානවා. මේ මොහොත වෙද්දි එයාට හතිය වැඩි වෙලා නිදි. කතා කරගන්න පවා අමාරුයි. ෆැක්ට්රි එකෙන් ඊයේ කෝල් කරලා එයාගෙන් අහන්නේ කවදද වැඩට එන්නෙ කියලා. ඒ්ත් ඩොක්ටර්ස්ලා එයාට කියලා තියෙන්නේ 26 වෙනිදා වෙනකල් බෙඩ් රෙස්ට් කරන්න කියලා. මේ වෙනකල් කිසිදු ප්‍රතිකාරයක් නෑ. පෙනඩෝල් පෙත්තක් වත් නෑ. වැඩපළවල් මට්ටමින් මේ අයගේ වගකීම බාරගන්නවත්, රජයෙන් වත් කිසිදු ප්‍රතිපත්තියක් නෑ. හොයාබලන්නෙ නෑ. නියාමනයක් නෑ.‍‍
 
* ඒ් කියන්නෙ තත්ත්වය ඉතාම බරපතළයි කියන එක නේද?
 
මාර බරපතළ තත්ත්වයක්. ළමයි 2500ක් සිටින තැනක 400-500ක් අනිවාර්යයෙන් පොසිටිව්. ඒ් කියන්නෙ එක්කෙනකුගෙන් තව 3ටවත් බෝවෙනවා. මොකද බොඩිංවල එකට, එකම ස්පේස් පාවිච්චි කරමින් ඉන්න නිසා. ඒ් කියන්නෙ 400ක් පොසිටිව් වුණාම එතැන 1200ක් වෙනවා අනිවාර්යයෙන්. රටම ලොක් ඩවුන් කළත් කලාපෙ මේ  ළමයින් වැඩට ගෙන්වනවා. මේ වෙද්දි පවුල් පිටින් බෝඩිං වෙලා ඉන්න අයට කරකියා ගන්න දෙයක් නෑ. 
රටම ලොක් ඩවුන් කරලා ඇඟලුම් ක්ෂේත්‍රයේ මේ ළමයින්ටත් සංචරණය සීමා කරලා ගෙවල්වල සති දෙකක්වත් තිබ්බොත් මේ තත්ත්වය යම් මට්ටමකට හෝ පාලනය කරගන්න පුළුවන්. එහෙම නැති නිසා තමයි මේ.
 
* ඔබ ඇතුළු පිරිසක් විසින් කම්කරු ඇමතිට මේ කාරණා ගැන දැනුවත් කරමින් යොමු කළ ලිපියට සුබවාදී ප්‍රතිචාරයක් තියෙනවද? 
 
එහෙමම කියන්න බෑ. ඒ්ත් ප්‍රසූතිකාගාර වලට අත්සන් කරන වැඩපිළිවෙළ හරහා රජයේ අයට දුන්නු සහනය මේ අයටත් දෙන්න කියලා කම්කරු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඉල්ලීමක් කරලා තියෙනාව. අපි මීටින් ඉල්ලුවා. ඒ් අය දවස් 14ක් තිස්සේ නිරෝධායනය වන නිසා මීටින් එකක් දෙන්න විදිහක් නෑ කියලා තියෙනවා. කලාප වහලා. මීටින්  ගන්න වෙන්නෙ Zoom මීටින්. එහෙම වුනත් සාකච්ඡාවක් දෙන්නෙ නෑ. අනික් අතට සංචරණ සීමාවන් යටතේ තීන්දුවක් ගන්නෙම නෑ. කොහොම හරි වැඩට ගෙන්වා ගන්න තමයි බලන්නෙ. මෙච්චර අවදානම් තත්ත්වයකදී, එනම්  3000-4000ක් දවසට පොසිට්ව් වෙලා තියෙද්දිත් වැඩට ගෙන්වනවා. දැන්  පීසීආර් ප්‍රතිඵල කියන්නෙ සාධාරණ ඒ්වා නෙවෙයිනෙ. ඇත්ත තොරතුරු නෙවෙයිනෙ. ආයෙතනයේ සේවකයින්ගෙන් ඇහුවම කොච්චර පොසිට්ව්ද කියලා කියන්න සේවකයින් දන්නෙ නෑ. පොසිට්ව් වුණු අය ගෙවල්වල. අනිත් අය වැඩ. බලහත්කාරයෙන් වැඩ ගන්නවා. ලයින් 12ක් තියෙන තැන ලයින් 5යි වැඩකරන්නෙ. 7ක්ම පොසිට්වි වෙලා. ඒ් තියෙද්දිවත් මේ අය කෙටි කාලෙකට හරි වැඩ නවත්වන්න සූදානමක් නෑ.

 
කියවිය යුතුම පුවත් කිහිපයක් පහතින්:

* තුල්හිරිය ඇඟලුම් කාර්මාන්තශාලාවේත් මෙවැනි තත්ත්වයක් වාර්තා වුණා නේද? එතනදි PHI ලා සාධනීය විදිහට මැදිහත් වුණා නේද?
 
ඔව්. පොසිට්වි නිසා පීඒච්අයිලා ඇවිත් ෆැක්ටරිය සීල් තියලා. ඒ් වගේම තමා පූගොඩ. එහෙත් එහෙම කළා. මාස් ෆැක්ට්රි වලත් ගන්නම දෙයක් නෑ. ඒ්ත් සති 3ට ඉස්සර තමා  බියගමින් 300ක් පොසිට්ව් වුණේ. දවස් 4ට පස්සෙ ඒ් අය කොළඹ හෝටලයකට දැම්මා. දවස් 4න් ආයෙම ගෙනත් බෝඩිං වලට  දානවා. එක දවසක රෑ කෑමවත් ගෙනත් දීලා නෑ. ඒ්කත් අමතක කරලා. ඒ් තරමට කිසිම වැඩපිළිවෙළක් නෑ. වැඩපළ මට්ටමින් වගකිව යුතුයි. ඒ්ත් ඒ්ක සිද්ධ වෙන්නෙ නෑ. BOI අතෑරලා තියෙනව නම්, කම්කරු දෙපාර්තමේන්තුව අතෑරලා තියෙනව නම් තමන් වැඩගන්න සේවකයින් ගැන , ඒ් ඒ් ආයතනයේ ඒ් ඒ් පාලකයින් තීන්දුවක් ගත යුතුයි. හැමතැනම අතෑරලා දාලා.
 
* තුල්හිරියේ හෝ පූගොඩ මැදිහත් වුණු විදිහට ආයෝජන කලාපයේ පී.එච්.අයිලාගෙ මැදිහත්වීමක් නැද්ද?
 
මෙහෙ ගමකුයි, 45,000ක 50,000ක විතර සේවකයිනුයි කියන්නෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට මේ බර දරන්න බෑ. ඒ අයට ප්‍රමාණවත් සම්පත් නෑ. මුල් කාලෙ කෙනෙක් පොසිටිව් වුණාම PHI ලා දැන්වීමක් දාලා යනවනෙ, "නිරෝධායනය වෙන නිවසකි" කියලා. දැන් එහෙම ගහන්නෙ නෑ බෝඩිං වල. මොකද අනිත් ළමයි වැඩට යන්න ඔ්නනෙ. ඒ්කයි. දෙවෙනි රැල්ලෙදි පඩි, බෝනස් ඔක්කොම කැපුව නිසා අනිත් ළමයිනුත් කොහොම හරි වැඩට යන්න තමා බලන්නෙ. ඉතිං තත්ත්වය තවත් භයානක වෙමින් සමාජගත වෙන එක වළක්වන්න බෑ.  පොසිටිව් වුනත් දවස් 5-6න් තමා ගෙනියන්නෙ. සමහර ළමයි, PHI ට කෝල් කරාම ", මට ඉඩ නෑ. ඔය ළමයි ගෙනත් මගේ ගෙදර තියා ගන්න කියලද කියන්නෙ"? කියලා අහපු අවස්ථා ගැන ළමයි කියනවා. ඒ් වාගෙ හරිම අකාරුණිකයි. මේ වගේ වෙලාවක ඒ් ළමයින්ට මානසික සුවයක් දැනෙන විදිහටවත් කතා කරන්නෙ නෑ. එක අතකට ඒ් මිනිස්සුන්ටත් වැඩ වැඩියි. මේ ලොර්ඩ් එක දරාගන්න බෑ. මේක විශේෂ තැනක් නිසා විශේෂ අවධානයක් යොමුකරලා පිරිස් බලය වැඩිකරන්න කටයුතු කරා නම් ගොඩක් ගැටළු විසඳෙනවා. 
 
* රජය මට්ටමින් සහනාධාර හෝ ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?
 
ඒ් ගැන කියල වැඩක් නෑ. මහ ලොකුවට ප්‍රචාරයක් ගෙන ගියාට කලාපෙ ළමයින්ට බඩු මල්ලක් වත් නෑ. ඒ් අය පෝලිම්වල ගියාම ඒ්වා ගමේ අයට බෝඩිං වෙලා ඉන්න අයට නෑ කියලා හරවා එවලා තියෙනවා. 1වෙනි රැල්ලට,දෙවෙනි රැල්ලට මුහුණ දීලා මේ වෙද්දි 3 වෙනි රැල්ලටවත් කලාපෙ දුක් විඳින ළමයින්ට බඩු මල්ලක්වත් බෙදාදෙන්න වැඩපිළිවෙළක් හදාගන්න ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා. 
 
   -චමිලා තුෂාරි - කැඳවුම්කාරිණි 'ඩාබිඳු සාමූහිකය"
 
 
සටහන- පී.ඩබ් මුතුකුඩආරච්චි