“ඇඟළුම් සේවිකාවන්ගේ කොවිඩ් වැළඳීම අනතුරුදායක තත්ත්වයක“ - අගමැතිට ලියයි

“ඇඟළුම් සේවිකාවන්ගේ කොවිඩ් වැළඳීම අනතුරුදායක තත්ත්වයක“ - අගමැතිට ලියයි

නිදහස් වෙළඳ කලාප සහ ඇඟලූම් කර්මාන්තශාලා වල සේවය කරන කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් විධිමත් කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත කටුනායක, ස්ත්‍රි මධ්‍යස්ථානය විසින් ලිපියක් යොමුකරමින් දැනුවත් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ

අප රට තුළ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා තෙවන රැල්ලත් සමඟ, නිදහස් වෙළඳ කලාප සහ ඇඟලූම් කර්මාන්තශාලා වල සේවය කරන කම්කරුවන්  අතරින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සැලකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇත. කොරෝනා ආසාදිත කම්කරුවන් නිසි නිරෝධායන පිළිවෙත් වෙත යොමු නොකිරිම නිසා ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වල, බෝඩිං වල සහ රැකියා ස්ථානවල ද සේවය කරන අනිකුත් කම්කරුවන් ද ඉතාමත් පීඩාකාරී තත්ත්වයකට සහ වසංගතයට ගොදුරු වීමේ අනතුරුදායක තත්වයකට මුහුණ පා සිටී. 

අප සංවිධානයේ ශාඛා නිලධාරීන් විසින් ඉදිරිපත් කල වාර්තාවට අනුව,  

  • කටුනායක නිදහස් වෙළඳ කලාපයේ, ෂැඩොලයින් ආයතනයේ 1500ක පමණ කම්කරුවන් පිරිසක් සේවය කරන අතර මේ වනවිට දහතුන් දෙනෙක් පමණ කොරෝනා ආසාදිත වී ඇත. මේ තත්ත්වය මත ආයතනයේ තව 100ක පමණක් කම්කරුවන් පිරිසක් මේ වන තෙක් සේවයට කැඳවා නොමැත. ආයතනය හරහා PCR පරීක්ෂණ සිදු කරන්නේ නැත.සෙම්ප‍්‍රතිශ්‍යාව සහ කැස්ස යන රෝග ලක්ෂණ වලින් පෙලෙන කම්කරුවන් ඔවුන් විසින්ම PCR පරීක්ෂණ සහ Rapid Antigen පරීක්ෂණ සිදු කරගත යුතුය.
  • කටුනායක ලියනගේමුල්ල, ජේ. කේ ගාමන්ට්ස් ප‍්‍රයිවට් ලිමිටඩ් ආයතනය තුළ මුල දී කොවිඩ් වෛරසය ආසාදිත සේවකයින් 12 දෙනකු පමණක් හමු වූවද, එය සතියකින් සේවකයින් 55 දක්වා ඉහළ නැගුණි. 
  • කටුනායක නෙක්ස්ට් මැනුෆැක්චරින් (පුද්) සමාගම තුළ පළමුව කම්කරුවන් හත්දෙනෙකු ආසාදිත බව හඳුනාගනු ලැබූවද, ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 100 කට වඩා වර්ධනය වී තිබේ.
  • කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ , කොග්ගල පොලිටෙක්ස් ආයතනයේ තුන්වන කොවිඩ් රැල්ලේ ආසාදිතයින් 240 පමණ මේ වන විට වාර්තා වන බවත් යුනිචෙලා ආයතනයේ ආසාදිතයින් 200 කට අධික ප‍්‍රමාණයක් සිටින බවත් බ‍්‍රැන්ඩෙක්ස් ආයතනයේ සේවකයින් 50 පමණ ආසාදිතයින් සිටින බවත් ස්ටාර් ගාර්මන්ට් හී නිශ්චිත ප‍්‍රමාණයක් වාර්තා නොවුනද සේවකයින් 50 කට වැඞ් පිරිසක් ආසාදිතයින් බව සෙව් කයින් පවසයි. අනෙකුත් ආයතන වලද සුලූ වශයෙන් ආසාදිතයින් වාර්තා වේ.
  • වවුනියා දිස්ත‍්‍රික්කයේ හයිඩ‍්‍රමනි සහ ඔමෙගා යන ඇඟලූම් කර්මාන්ත ශාලාවල නවක බදවා ගැනීම් වලදී පමණක් PCR පරීක්ෂණ සිදුකෙරෙන අතර අනෙකුත් කම්කරුවන්ගේ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. මේ අතර ම රෝගී ලක්ෂණ පෙන්වන කම්කරුවන්ගේ PCR වාර්තාව එනතෙක් PCR සිදු කළ හා නොකළ අය වෙන් නොකර එකම අංශය තුළ සේවය කරයි. කම්කරුවකු කොරෝනා ආසාදිත යෙකු ලෙස හඳුනාගත් විට එම පුද්ගලයා පමණක් නිරෝධනයට යොමු කරන අතර දින දාහතරක් තුළදී නොව දින දහයකින් නැවත රැකියාවට කැඳවනු ලැබේ.

ඉහත තත්වයන් තුලදී වුවද තම වැටුප් කප්පාදු වේ යැයි සිතා සහ තමන් රැකියාවට නොගියහොත් එම දින ගණන තමන්ගේ නිවාඩු වලින් කපා දමනු ඇතැයි ඇතැම් කර්මාන්තශාලා වල සේවකයො බියට පත් වී සිටිති. ආසාදිත වූ බොහොමයක් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙනගොස් නැත. එසේම එන්නත්කරණ වැඩසටහන්  පිළිබඳව ද දැනුම් දී නැත. නේවාසිකාගාර තුළ දී කම්කරුවන් නිරෝධායනය වන විට එම ස්ථාන නිරෝධායනය සිදුවන ස්ථාන  ලෙස හැඳින්වෙන දැන්වීම් අලවා නොමැති අතර, තමන්ව සහ අන් අයවද අනාරක්ෂිත තත්වයට පත්කරමින් සේවකයින් නවාතැන්වලින් පිටතට යාම සහ නැවතත් ඒවාට පැමිණීම සිදු කරයි. කම්කරුවන් නිවසේ /නේවාසකාගාර වල/බෝඩිං වල රැඳී සිටිය හොත් ඔවුන්ගේ වැටුප් කපා දැමෙන බැවින් ඔවුන් ඒවායේ රැඳී සිටීමට ද පසුබට වේ.. විශේෂයෙන්ම එකම බෝඩිම් කාමර වල ස්වයං නිරෝධායනයෙහි යෙදී සිටින සේවකයා තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් නොවේ නම්, කම්කරුවන් සුපුරුදු පරිදි දිගටම රැකියාවට යාම සිදුකරයි. මෙය ඉතාම භයානක තත්වයකි.

මෙවැනි තත්ත්වයක් තුළ දී ශ‍්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන මෙම කම්කරුවන්ගේ රැකියා සහ ජීවිත පිළිබඳව වගකීමක් අප සියලූ දෙනාටම ඇත. ඒ අනුව නිදහස් වෙළද කලාප සහ ඇගලූම් කර්මාන්ත ශාලා වල සේවය කරන කම්කරු කාන්තාවන්ගේ  අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ස්ථාපනය කරන ලද  ප‍්‍රථම සහ පැරණිතම සංවිධානය වන අප ආයතනය විසින් පහත නිර්දේශයන් ඉදිරිපත් කරන්නෙමු. 

1. නිදහස් වෙළද කලාප සහ ඇගලූම් කර්මාන්ත ශාලා වල සේවය කරන කම්කරුවන් සඳහා   එන්නත්කරණය සිදුකිරීම.

2. ආයතන තුළ නිසි PCR ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් සියලූම කම්කරුවන් සඳහා PCR පරීක්ෂණ  සිදුකිරීම.

3. ත්‍රෙපාර්ශවිය කාර්‍ය සාදක බලකාය හරහා යෝජනා කළ පරිදි සියලූම කර්මාන්තශාලා වල සෞඛ්‍ය කමිටු පිහිටුවීම සහ ඒවා හරහා සියලූම  කම්කරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වන වැඩපිළිවෙලවල් ක‍්‍රියාත්මක කිරීම. 

4. නිදහස් වෙළඳ කලාප හා ඇඟලූම් කර්මාන්ත ශාලාවල සේවය කරන කම්කරුවන්ගේ කෝවිඩ් වෛරසය පැතිරීම සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බැවින් ඔවුන් සේවයට කැඳවීමේදී නියමිත සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරන ලෙස සහ නිසි නිරෝධායන පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම.

5. නිරෝධානය වන කාලසීමාවන් තුළදී වැටුප් කප්පාදුවකින් තොරව සියලූම කම්කරුවන් සඳහා වැටුප් ගෙවීම.

6. වසංගතය හේතුවෙන් දැඩි ලෙස අනතුරුදායක තත්ත්වයකට පත් වී සිටින පුද්ගලික අංශයේ සේවය කරන ගර්භණී මවුවරුන් සඳහා වැටුප් සහිත නිවාඩු ක‍්‍රම ලබාදීම.

ඉහත නිර්දේශ සම්බන්ධයෙන් ඔබගේ කාරුණික අවධානය යොමුකර ඒ සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා මෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.